නවසීලන්ත ත්‍රස්තයා හුදෙකලා ඝාතකයෙක්



ක්‍රයිට්ස්චර්ච් නුවර මුස්ලිම් පල්ලි දෙකකට කඩා වැදී කළ වෙඩි තැබීමෙන් මේ වනවිට 50 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පැවැසෙයි.

රෝහල් ගතව ප්‍රතිකාර ලබන පිරිස ද 40 කට ආසන්නය. මෙය නවසීලන්ත ඉතිහාසයේ සිදුවුණු දරුණුම ත්‍රස්ත ප්‍රහාරයයි.

බ්‍රෙන්ටොන් ටැරැන්ට් සමඟ තවත් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පැවැසුවත්, නවසීලන්ත පොලිසිය කියා සිටියේ බ්‍රෙන්ටොන් ටැරැන්ට් තනිවම එම ප්‍රහාරය කළ බවය.

බ්‍රෙන්ටොන් ටැරැන්ට් කළ වෙඩි තැබීමෙන් අල් නූර් සහ ඊට විනාඩි 15 ක පමණ දුරකින් පිහිටි ලින්ඩුඞ් මුස්ලිම් පල්ලියේ දේව මෙහෙයට සහභාගී වී සිටි ආසියානුවෝ නව දෙනෙක් ද ජීවිතක්ෂයට පත්වූහ. මොවුහු නවසීලන්ත පුරවැසිභාවය ලබාගත් අය වෙති.

එම පිරිස අතර පාකිස්තාන වැසියන් 6 දෙනකු, ඉන්දියානුවන් දෙදෙනකු සහ ඇෆ්ගන් වැසියකු සිටින බව නවසීලන්ත පුවත් සේවා වාර්තා කරයි. බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම නවසීලන්ත සංචාරයකට පැමිණ සිටි අතර, ප්‍රහාරය එල්ල වෙද්දී, ඔවුන්ගෙන් කිහිප දෙනකු ද අල් නූර් මුස්ලිම් පල්ලිය වෙත යමින් සිට ඇත. කෙසේ නමුත් පොලිස් නිලධාරීන් කඩිනමින් ඔවුන් ආපසු හරවා යවා ඇති බව ද පැවැසෙයි. ප්‍රහාරයෙන් පසු බංග්ලාදේශ නවසීලන්ත ක්‍රිකට් තරගාවලිය ද අවලංගු කෙරුණු බව වාර්තා විය.

පොලිසිය මැදිහත් වී බ්‍රෙන්ටොන් ටැරැන්ට් අල්ලා ගනිද්දී ඔහු සතුව ගිනි අවි රැසක් තිබී හමුවිය. ඒ අනුව, නවසීලන්තයේ ගිනි අවි ළඟතබා ගැනීම සම්බන්ධයෙන් පවතින නීතිරීති වෙනස් කිරීමට පියවර ගන්නා බව අගමැතිනී ජැසෙන්ඩා එර්ඩන් පවසා ඇත.

බ්‍රැන්ටන් ටැරන්ට්, තමා මෙම ඝාතන කරන්නේ ඇයිදැයි පැහැදිලි කරමින්, පිටු 74 ක ලියවිල්ලක් ද ඔහුගේ ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රසිද්ධියට පත් කර තිබේ.

ඝාතන සිදු කිරිමට මිනිත්තු කීපයකට පෙර බ්‍රැන්ටන් ටැරන්ට් මෙම ලියවිල්ල තමන්ට ද ඒවා තිබුණු බවත්, සිදු කළ ප්‍රහාරය වැලැක්වීමට කාලවේලාවක් නොතිබුණු බවත් ප්‍රහාරය එල්ල වන්නේ කොතැනටදැයි කල් තියා දැන නොසිටි බවත් නවසීලන්ත අගමැතිනී ජැසෙන්ඩා එර්ඩන් මාධ්‍ය හමුවේ පවසා ඇත.

බ්‍රැන්ටන් ටැරන්ට් මෙම ඝාතන සිදු කළේ ඒ දසුන් ඔහුගේ ෆේස්බුක් සමාජ ජාල ගිණුම ඔස්සේ සජීවීව විකාශය කරමිනි. ඔහු එය කළේ පැළඳි හෙල්මට්ටුවේ තිබූ කැමරාවේ ආධාරයෙනි. බොහෝ දෙනාගේ විරෝධය එල්ල වෙද්දී, ප්‍රසිද්ධියට පත් වන්න වූ එම දසුන් කඩිනමින් ඉවත් කිරීමට ෆේස්බුක් බලධාරීහු කටයුතු කළහ.

(රොයිටර්ස්)


RECOMMEND POSTS