නවසීලන්ත ආර්ථිකය වැටිලා



නව කොරෝනා වයිරස වසංගතය හේතුවෙන් නවසීලන්ත ආර්ථිකය දරුණු පසුබෑමකට මුහුණ පා ඇත. මේ වසරේ දෙවැනි කාර්තුවේදී නවසීලන්ත ආර්ථිකය දරුණු කඩාවැටීමකට ලක්ව ඇතැයි නිල සංඛ්‍යා දත්ත පෙන්වාදෙයි.

ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් නවසීලන්තයේ මෙන්ම ලොවපුරා ව්‍යාපාර රැසක් අකර්මන්‍ය විය.

කාර්තුවෙන් කාර්තුවට සංසන්දනය කර බැලීමේදී මේ වසරේ දෙවැනි කාර්තුවේදී නවසීලන්ත ආර්ථිකය සියයට 12.2කින් හැකිළීමකට ලක්ව ඇත. ඒ අනුව එය නවසීලන්තයෙන් වසර ගණනාවකට පසු වාර්තා වූ දරුණුම ආර්ථික කඩා වැටීම යැයි ද වාර්තා වේ. මේ වසරේ දෙවැනි කාර්තුවේදී නවසීලන්ත ආර්ථිකය සියයට 12.8කින් පහත වැටෙනු ඇතැයි ආර්ථික විද්‍යාඥයන් මත පළ කර තිබුණ ද දෙවැනි කාර්තුවේදී ඊටත් වඩා වැඩි අගයකින් ආර්ථිකය පහත වැටී ඇත. පසුගිය වසර හා සැසඳීමේදී මේ වසරේ දී නවසීලන්තය ආර්ථිකය සියයට 12.4කින් පහළ වැටී ඇත.

නවසීලන්ත මහ බැංකුව ඉකුත් අගෝස්තු මාසයේදී දළ දේශීය නිෂ්පාදිතයේ කාර්තුවල සහ වාර්ෂික පහත වැටීම දක්වමින් පුරෝකථන ඉදිරිපත් කර තිබිණි. ඊට අනුව දළ දේශීය නිෂ්පාදිතයේ පහළ වැටීම සියයට 14ක අගයකට ආසන්න විය.

ආර්ථික වර්ධනය අඩාල වීමට ප්‍රධාන  වශයෙන් හේතු වී ඇත්තේ නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා පැනවූ ලොක්ඩවුන් සීමා ය. නව කොරෝනා වයිරසයේ පැතිර යෑම වැළැක්වීම සඳහා නවසීලන්තය දැඩි ලොක්ඩවුන් සීමා පැනවූ අතර අප්‍රේල් මාසයේ දී සහ මැයි මාසයේ ඇතැම් දිනවල සම්පූර්ණයෙන් අගුළු දැමී ය. මේ හේතුවෙන් සියලුදෙනාටම පාහේ නිවෙස්වල රැඳී සිටීමට සිදු වූ අතර ව්‍යාපාර සම්පූර්ණයෙන් වසා දැමිණි.

ප්‍රසිද්ධියට පත් කර තිබෙන නිල සංඛ්‍යාදත්ත ලෙස බැලීමේදී නවසීලන්තය ඔවුන්ගේ දරුණුතම ආර්ථික පසුබැසීමට මුහුණ පා ඇති බව පෙනී යයි. 2010 වසරෙන් පසු නවසීලන්ත ආර්ථිකයේ කාර්තු දෙකක් අඛණ්ඩව හැකිළීමකට ලක්වූ පළමු අවස්ථාව මෙයයි. ඉකුත් මාර්තු මාසයේදී නවසීලන්ත ආර්ථිකයේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 1.6කින් පහත වැටී ඇත.

අසල්වැසියන් වන ඔස්ට්‍රේලියාව හා සැසඳීමේදී නවසීලන්තය වයිරසයේ ව්‍යප්තිය පාලනය කිරීම සඳහා දැඩි සීමා පැනවීය. ‘කොවිඩ්-19’ ලොක්ඩවුන් සමයේදී ඔස්ට්‍රේලියානු ආර්ථිකය සියයට 7.0කින් ද ඇමෙරිකා එක්සත් ජනපද ආර්ථීකය සියයට 9.1කින් ද පහළ වැටී ඇත.

අනෙක් රටවල් වයිරසය තවමත් වයිරසය පාලනය කිරීමේ අරගලයට සහ අර්බුදයට මැදිව සිටින බැවින් නවසීලන්තය ඉතා ඉක්මනින් වේගවත් ආර්ථික වර්ධනයක් අත්පත් කරගනු ඇතයි ආර්ථික විද්‍යාඥයෝ පෙන්වාදෙති.

රොයිටර්


RECOMMEND POSTS