නජීබ් රසාක්ට රටින් පිටවීම තහනම්



මැලේසියා මැතිවරණයෙන් පරාජයට පත් අගමැති නජීබ් රසාක් සහ බිරිඳට  රටින් පිටවීම තහනම් කර ඇති බව එරට පුවත් සේවා වාර්තා කරයි.

ඊට හේතුව වී ඇත්තේ නජීබ් රසාක් සම්බන්ධයෙන් අල්ලස් දූෂණ චෝදනා එල්ල වී තිබීමය. මෙවර මැතිවරණයේදී නජීබ් රසාක් පරාජයට පත් වූයේ ද එම චෝදනා හේතුවෙනි.

පසුගිය 12 දා නජීබ් රසාක්ට අයත් ක්වාලලාම්පූර් නුවර සුපිරි නිවසක් පොලිසිය විසින් වැටැලූ බව ද වාර්තා වේ. ඇමෙරිකන් ඩොලර් බිලියන ගණන මූල්‍ය වංචා සිදුකළේ යැයි හිටපු අගමැති රසාක්ට චෝදනා එල්ල වී ඇත.

මැලේසියා මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළේ යළි දේශපාලනයට පිවිසි මහතීර් මොහොමද් ප්‍රමුඛ ඔහුගේ විපක්ෂ සන්ධානයයි. 92 හැවිරිදි මහතීර් මොහොමද්, මැලේසියා මැතිවරණයට ඉදිරිපත් වූයේ ‘පාකාතාන් හරප්පාන්’ විපක්ෂ දේශපාලන සංධානයෙනි. ‘පාකාතාන් හරප්පාන්’ යන්නෙහි අර්ථය ‘බලාපොරොත්තුවේ හවුල’ යන්නය.

මහතීර් මොහොමද් මැතිවරණයට ඉදිරිපත් වූයේ විපක්ෂ දේශපාලන කණ්ඩායම් මෙහෙයවීමට සුදුස්සකු නොවුණු නිසා, එම පක්ෂ කළ ඉල්ලීම සැළකිල්ලට ගනිමිනි.

හිටපු අගමැති නජීබ් රසාක්ගේ රජය විසින් සිදු කළැයි පැවැසෙන මූල්‍ය වංචා සම්බන්ධයෙන් වහා සොයා බලන බව, අගමැති ධුරයේ දිවුරුම් දෙමින් මහතීර් මොහොමද් පවසා ඇත.

මැලේසියා සංවර්ධන අරමුදලින් මුදල කොල්ල කෑ බවට නජීබ් රසාක්ට චෝදනා එල්ල වී ඇත. මැලේසියා සංවර්ධන අරමුදලින් අතුරුදන් වුණැයි පැවැසෙන මුදල්වලට සිදුවුණේ කුමක්දැයි වහා සොයා බලා, අතුරුදන් එම මුදල යළි එක් රැස් කර ගැනීමට ද පියවර ගන්නා බවට මහතීර් මොහොමද් ප්‍රතිඥා දී තිබෙන බව මැලේසියා මාධ්‍ය වාර්තා කරයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS