ධුරය අත්හරින්න මුගාබේ බෑ කියයි



නිවාස අඩස්සියේ පසුවන සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ  එරට ජාතික රූපවාහිනියෙන් ජාතිය අමතමින් කියා සිටියේ තමා කිසිදු අවස්ථාවක ධුරයෙන් ඉවත් නොවන බවය.

මුගාබේගේ මෙම ප්‍රකාශය සිම්බාබ්වේ වැසියන්ගේත් සහ විපක්ෂයේත් දැඩි විරෝධයට හේතුවක් වී ඇත. ඊට අමතරව, සිම්බාබ්වේ පාලක පක්ෂය වන සානු දේශප්‍රේමී පෙරමුණේ ද දැඩි විරෝධය ඊට එල්ල වී ඇතැයි ද වාර්තා වේ. වහා ධුරයෙන් ඉවත් වන්නැයි මුගාබේට බල කරමින් හරාරේ අගනුවර දිගටම විරෝධතා රැළි පවා පැවැත්වෙන බව ද වාර්තා වේ.

ජනපති මුගාබේ ජාතිය ඇමැතීම කළේ සිම්බාබ්වේ හමුදාපති සහ හමුදා ප්‍රධානීන් ද පිරිවරාවගෙනය. ඔහුගේ කතාව ඔහු වෙනුවෙන් ලියා සකස් කර තිබුණි. ඒ හමුදා ප්‍රධානීන් සහ සානු දේශප්‍රේමී පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන්ගේ ද එකමුතුවෙනි.
කෙසේ නමුත් සජීවී ලෙස ජාතිය අමතද්දී, ලබා දී තිබුණු එම කතාව අමතක කර මුගාබේ ඔහුට රිසි දේ පැවැසීය. කිසිම අවස්ථාවක ධුරයෙන් සමු නොගන්නා බවත් කිසිවකුගේ බලපෑමට යටත් නොවන බවත් හෙතෙම පැවැසීය.

ලබා දී තිබුණු ‘කතාවට’ පිටින් යෑම සම්බන්ධයෙන් හමුදාපතිවරයා හෝ හමුදා ප්‍රධානීන් හෝ මුගාබේට කිසිදු චෝදනාවක් නොකළහ. එම අවස්ථාවේ ඔවුහු බොහොම සන්සුන්ව මුගාබේ අසල අසුන්ගෙන සිටි අතර මුගාබේට කිසිදු අයුරකින් බාධා කිරීමක් නොකළහ.

අප්‍රිකාවට අයත් සිම්බාබ්වේ රාජ්‍යයේ දේශපාලන අර්බුදයක් නිර්මාණය වූයේ පසුගිය 6 වැනිදා, දීර්ඝ කාලයක් උප ජනපති ලෙස කටයුතු කළ තම දෙවැනියා වුණු එමර්සන් මුනගැග්වා ධුරයෙන් නෙරපා දැමීමත් සමඟය. පාලක සානු දේශප්‍රේමී පෙරමුණ මුගාබේට පක්ෂව සහ මුනගැග්වාට පක්ෂව ආදී වශයෙන් දෙකඩ විය.

මුගාබේ සිය බිරිය ග්‍රේස්ගේ ඉල්ලීමට අනුව, උප ජනාධිපති මුනගැග්වා ධුරයෙන් නෙරපා දැමීම දැමූ බව වාර්තා විය. මුගාබේ බිරිය ග්‍රේස් චෝදනා කර තිබුණේ, මුගාබේ බලයෙන් නෙරපීමට, මුනගැග්වා කුමන්ත්‍රණය කරන බවටය.

තම අනුප්‍රාප්තිකයා ලෙස බිරිය ග්‍රෙස් නම් කිරීමට මුගාබේ පියවර ගත්තේය. එපමණක් නොව, ලබන වසරේ පැවැත්වීමට නියමිත සිම්බාබ්වේ ජනපතිවරණයට තමන් යළිත් ඉදිරිපත් වන බව ද මුගාබේ නිවේදනය කළේය. මුගාබේ සිම්බාබේ ජනපති ලෙස කටයුතු කරන්නේ 37 වසරක සිටය.

සිම්බාබේ හමුදාව මැදිහත් වී, රටේ බලය අල්ලා ගනිද්දී, මුගාබේ බිරිය ග්‍රෙස් අසල්වැසි නැමීබියාවට පලා ගියාය. මුගාබේ නිවාස අඩස්සියට පත් වුණු අතර, රටින් පිටුවහල් වී සිටි මුනගැග්වා යළි හරාරේ බලා පැමිණියේය.

මුගාබේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සානු දේශප්‍රේමී පෙරමුණේ මධ්‍යම කාරකසභාව රැස්විණි. ඒ, හරාරේ අගනුවර පිහිටි පක්ෂ මූලස්ථානයේදීය. එහිදී පක්ෂයේ නායකයා ලෙස එමර්සන් මුනගැග්වා පත් කර ගැනීමට තීරණය කෙරුණි. ඒ අනුව මුගාබේට පක්ෂයේ නායකත්වය ද අහිමි කෙරුණි.

‘මුගාබේ ධුරයෙන් ඉල්ලා අස්වේවි අපි බලාපොරොත්තු වුණා. ඔහුට ඔහුගේ ගෞරවය රැකගෙන ඉල්ලා අස්වෙන්න අපි අවස්ථාවක් දුන්නා. ඒත් ඔහු ඒ ගැන සැළකිල්ලක් දැක්වූයේ නැහැ. ඔහුට පිස්සු. මුගාබේට හොඳටම පිස්සු’ යැයි සානු දේශප්‍රේමී පෙරමුණ පක්ෂයේ මධ්‍යම කාරක සභාව මාධ්‍ය හමුවේ පවසා ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS