දෙදින විරාමයකින් පසු තලේබාන් සාම කතා ඇරැඹේ



ඇෆ්ගන් අර්බුදයට සාමකාමී විසඳුමක් සෙවීමේ අරමුණින්, ඇමෙරිකාව සහ ඇෆ්ගන් තලේබාන් සංවිධානය අතර පැවැත්වෙන සාම කතා දෙදින විරාමයකින් පසු යළි ආරම්භ විය.

සාම කතා පැවැත්වෙන්නේ වසර 17 ක් තිස්සේ ඔඩුදුවන ඇෆ්ගන් යුද්ධය අවසන් කිරීම සඳහාය. තලේබාන් සංවිධානයේ ආරම්භක සාමාජික මුල්ලා අබ්දුල් ඝානි බරාදාර් තලේබාන් සංවිධානයේ නියෝජිත කණ්ඩායමට නායකත්වය දෙයි.

ඇමෙරිකන් නියෝජිත කණ්ඩායමට නායකත්වය දෙන්නේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින්, තලේබාන් අර්බුදය විසඳීමට පත් කළ නියෝජිත සැල්මේ කලීසාද්ය. සාකච්ඡා පැවැත් වෙන්නේ කටාර් රාජ්‍යයේ දෝහා හි පිහිටුවූ තලේබන් සාම කාර්යාලය හරහාය.

සාම සාකච්ඡා මෙසේ ආරම්භ වෙද්දී, දකුණුදිග ඇෆ්ගනිස්තානයේ හෙල්මන්ද් ප්‍රාන්තයේ ඇෆ්ගන් හමුදා කඳවුරකට තලේබාන් ත්‍රස්තවාදීන් පහර දී ඇති බවත්, එයින් ඇෆ්ගන් සොල්දාදුවන් 23 දෙනකු ජීවිතක්ෂයට පත් වුණු බවත් විදෙස් පුවත් සේවා වාර්තා කළේය. ප්‍රහාරය එල්ල වූයේ ෂොරාබ් නමැති හමුදා කඳවුරටය.

දෝහාහිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS