දූවිලිවල කොරෝනා ඇතැයි බියවෙලා



චීනයේ සිට උතුරු කොරියාවට හමා එම දූවිලිවල කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරස විෂබීජ අඩංගු වෙනවා යැයි උතුරු කොරියානුවන් අතරේ බියක් හටගෙන ඇතැයි වාර්තා වේ.

මේ හේතුව නිසා උතුරු කොරියාවේ යොංග්යැංග් අගනුවර වැසියන්ට නිවෙස්වලටම වී සිටින්නැයි උතුරු කොරියා නායක කිම් ජොන් උන් උපදෙස් දී ඇතැයි ද වාර්තා වේ.

චීනය, උතුරු කොරියාව සහ දකුණු කොරියාව ළං ව පිහිටා ඇති රටවල්ය. චීනයේ කොරෝනා වයිරසය ඉහවහා යද්දී, උතුරු කොරියාව චීනය සමඟත් දකුණු කොරියාව සමඟත් දේශසීමා වසා දැමුවේය. දේශසීමා හරහා පැමිණෙන ඕනෑම අයකුට වෙඩි තැබීමට ද උතුරු කොරියානු හමුදාවට උපදෙස් ලැබී ඇත. අදටත් උතුරු කොරියාවෙන් කිසිදු කොරෝනා ආසාදිතයකු වාර්තා වන්නේ නැත.

වාර්ෂිකව මෙම කාලයට කහ පැහැති දූවිලි කුණාටු, චීනය දෙසින් ද දකුණු කොරියාව දෙසින් ද උතුරු කොරියාව දෙසට හමා එයි. එසේ පැමිණෙන වැලි කුණාටු සමඟ කොරෝනා විෂබීජ තම රටට ඇතුළුවේවි යන බියෙන් උතුරු කොරියානුවෝ පසුවෙති. වැලි කුණාටු අවසන් වනතුරු තම නිලධාරීන්ට ද නිවෙස් තුළට වී සිටින්නැයි උතුරු කොරියානු රජය දැනුම් දුන් බව උතුරු කොරියාවේ රුසියන් තානාපති කාර්යාලය ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ පවසා තිබේ.

වැලි කුණාටු ඔස්සේ හෝ සුළඟින් හෝ කොරෝනා වයිරස විෂබීජ පැතිරෙන බවක් චීන විද්‍යාඥයන් හෝ ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ මෙතෙක් සනාථ කර නැත. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, වයිරසයෙන් බේරීමට නම් මීටරයකට වැඩි සමාජ දුරස්ථභාවයක් සැමවිටම පවත්වාගෙන යා යුතුය.

සෝල්හිදීය (ඒ.එෆ්.පී.)‍


RECOMMEND POSTS