දිනකදී ලක්ෂ 6 කට එන්නත්



දිනක් ඇතුළත ලක්ෂ හයකට කොවිඩ්-19 එන්නත ලබාදුන් බව ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඇමෙරිකා එක්සත් ජනපදය මේ වනවිට ලක්ෂ 60කට අධික පිරිසකට ‘කොවිඩ්-19’ එන්නත ලබා දී තිබේ.

ඇමෙරිකාව එරට මහ පරිමාණ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළේ ඉකුත් දෙසැම්බර් මස 14 වැනිදා ය. නව කොරෝනා වයිරස වසංගතය නැවැත්වීමට නම් තවත් මිලියන සිය ගණනකට එන්නත ලබාදිය යුතු යැයි ද පැවසේ.

කෙසේ නමුත් ඇමෙරිකා එක්සත් ජනපදය ඊයේ (7) වැනිදා 600,000කට අධික පිරිසකට එන්නත ලබාදුන් බව එරට රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

මේ අතර ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්තවලට අනුව ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ඊයේ (7) නව කොරෝනා වයිරස ආසාදිත මරණ 4,085ක් වාර්තා විය.

එදින වාර්තා වූ වයිරස ආසාදිතයන්ගේ ගණන 275,000 ඉක්මවීය. ඇමෙරිකාවෙන් මේ වනවිට වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන ලක්ෂ 20කට ආසන්න වී ඇත.

මේ වනවිට ඇමෙරිකාවේ ජනපද රැසකින් දෛනිකව වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් ඉහළ යමින් තිබේ. එයින් ද වැඩිම බලපෑමක් වී ඇත්තේ කැලිෆෝනියා ජනපදයට යි. එම ජනපදයෙන් අවසන් පැය 24දී වයිරස ආසාදිත මරණ 1,042ක් වාර්තා විය.

දෛනික වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් ඉහළ යෑම හේතුවෙන් රෝහල්වලට ඇතුළත් කරන වයිරස ආසාදිත රෝගීන්ගේ ගණන සීමා කිරීමට රෝහල් බලධාරීන්ට සිදුව තිබේ. මේ තත්ත්වය හේතුවෙන් ජීවත් වන්නේ කවුද මරණයට පත්වන්නේ කවුද යන්න තීරණය කරන ඛේදනීය තත්ත්වයක් උද්ගත වී ඇතැයි ද ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි.

‘ද වොෂින්ටන් පෝස්ට්’ ඇසුරිනි


RECOMMEND POSTS