දැමූ සම්බාධක ඉවත් කරන්න



ඇමරිකාව සහ උතුරු කොරියාව අතර ගොඩනැගුණු යහපත් සබඳතා සැලකිල්ලට ගනිමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය උතුරු කොරියාවට එරෙහිව පනවා ඇති සම්බාධක ඉවත් කිරීමට කටයුතු කළ යුතු යැයි රුසියාව පවසා ඇත.

ඇමෙරිකාව පමණක් නොව රුසියාව ද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටවල්ය. ඇමෙරිකාව පමණක් නොව ආරක්ෂක මණ්ඩලය ඇතුළු එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා උතුරු කොරියාවට සම්බාධක පනවා ඇත.

උතුරු කොරියාවට පමණක් නොව, කොරියානුවන් ද ඉලන්න කර ගනිමින් මෙසේ සම්බාධක පැනැවීමක් සිදු කර ඇත්තේ, උතුරු කොරියාවේ හිතුවක්කාර න්‍යෂ්ටික වැඩසටහන සහ මිසයිල වැඩසටහන මුල්කොට ගනිමිනි.

කෙසේ නමුත් පසුගිය 12 වැනිදා සිංගප්පූරුවේදී උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් පසු, න්‍යෂ්ටික කටයුතු නැවැත්වීමටත්, න්‍යෂ්ටික අවිහරණයක් සිදු කිරීමටත් උතුරු කොරියා නායක කිම් ජොන් උන් කැමැත්ත පළ කළේය.

ඒ අනුව, වසර 70 ගණනකට පසු ඇමෙරිකාව සහ උතුරු කොරියාව අතරේ යහපත් සබඳතා ගොඩනැගී ඇත. උතුරු කොරියාව දිගටම සාමයට කැප වෙනවා නම්, සම්බාධක ඉවත් කරන බවත්, එරට සමඟ ආයෝජන ඇති කර ගන්නා බවත් ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් පවසා තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS