දකුණු කොරියා ජනපතිනියට ධුරය අහිමි වෙයි



එල්ල වී තිබූ දූෂණ වංචා චෝදනා සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරදකාරිය වීමත් සමඟ දකුණු කොරියා ජනපතිනි පාක් ග්වෙන් හේට ඊයේ සිය ධුරය අහිමිවිය.

දකුණු කොරියාවේ පළමු කාන්තා ප්‍රජාතන්ත්‍රවාදී ජනපති වන්නේ පාක් ග්වෙන් හේ විය. අධිකරණ තීන්දුවකින් ජනපති ධුරයෙන් ඉවත් කෙරුණු පළමු දකුණු කොරියානු ජනාධිපති වන්නේ ද මැයයි.

ජනපති වරප්‍රසාද අහිමිවීමත් සමඟ ඇයට එරෙහිව චෝදනා ගොනු කර නඩු පැවැරීමට හැකි වනු ඇතැයි දකුණු කොරියානු මාධ්‍ය මාර්තා කර තිබේ.

ජනපතිවරියට එරෙහිව අධිකරණ තීන්දුව ලබා දෙද්දී ඇයට හිතවාදී පිරිස කලහකාරීව හැසිරෙන්න වූහ. එම පිරිස් සහ කැරැලි මර්දන පොලිසිය අතට හටගත් ගැටුම්වලින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

මුල්‍ය අක්‍රමිකතා සහ බලය අනිසි ලෙස භාවිත කළැයි චෝදනා එල්ල වී සිටින දකුණු කොරියානු ජනපතිනී පාක් ග්වෙන් හේට විරෝධය පළ කරමින්, දකුණු කොරියානු ව්‍යවස්ථාදායකය මගින්, ඇය ධුරයෙන් ඉවත් කිරීම පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ගෙන ඒම සිදුවූයේ පසුගිය දෙසැම්බර් 9 වැනිදාය.

64 හැවිරිදි පාක් ග්වෙන් හේට මෙසේ චෝදනා එල්ල වූයේ ඇය රටේ මූල්‍යාංශවලට ඇගේ මිතුරිය මෙන්ම ආධාරකාරියක ද වන චොයි සූන් සිල් සම්බන්ධ කරවා ගැනීමෙන් පසුවය.

එම සම්බන්ධයෙන් තමා කිසිදු වරදක් කර නැතැයි පාක් ග්වෙන් හේ අවස්ථා ගණනාවකදී ජනතාවට අවධාරණය කළාය. කෙසේ නමුත් චොයි සූන් සිල් රටේ මූල්‍යාංශවලට සම්බන්ධ වීම සිදුවූයේ තම නොසැලකිල්ල නිසා බව තමා පිළිගන්නවා යැයි ජනපතිනිය ජනතාවට පවසා ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලීමක් ද කළාය. චෝදනා එල්ල වුණු අවස්ථාවේදී චොයි සූන් සිල් සමඟ පැවැති සියලු සබඳතා නැවැත්වීමට ජනපතිනිය කටයුතු කළ ද ඇයට එරෙහිව දැඩි ජනතා විරෝධයක් එල්ල වන්න විය.

ජනපතිනී පාක් ග්වෙන් හේට එරෙහිව ඉදිරිපත් කෙරුණු දෝෂාභියෝගය දකුණු කොරියානු අධිකරණය හමුවට ද යොමු කෙරුණි. එම අවස්ථාවේදී විනිසුරු මඩුල්ල තීන්දුව දුන්නේ පාක් ග්වෙන් හේ ජනපති ධුරයෙන් ඉවත් කළ යුතුයි කියාය. ඒ අනුව ඉදිරියේ දී දකුණු කොරියාවට නව ජනාධිපතිවරයකු තෝරා ගැනීමට සිදුවනු ඇතැයි ද රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.

(රොයිටර්)

 


RECOMMEND POSTS