ත්‍රස්ත කල්ලිවලට ඉන්දියාවේ අනුග්‍රහය



 

පාකිස්තානය අස්ථාවර කිරීමේ අරමුණින් ඉන්දියාව, ත්‍රස්ත කල්ලිවලට අනුග්‍රහය දක්වනවා යැයි පාකිස්තානය චෝදනා කරයි.

ඉන්දියාව සම්බන්ධයෙන් පාකිස්තානය මෙලෙස චෝදනාවක් එල්ල කළ පළමු අවස්ථාව මෙය යැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

පාකිස්තාන විදේශ කටයුතු ඇමැති ෂා මොහොමද් කුරේෂි, හමුදා ප්‍රකාශක මේජර් ජනරාල් බබාර් ඉෆ්තිකාර්, ඉස්ලාමාබාද් අගනුවර පැවැත්වුණු මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙසේ චෝදනා එල්ල කළහ.

‘ඉන්දීය බුද්ධි අංශ, ඇෆ්ගනිස්තානයේ රහසේ ක්‍රියාත්මක වෙමින්, සන්නද්ධ ත්‍රස්ත කල්ලිවලට සහාය දෙනවා. ඒ, පාකිස්තානය අඩපණ කිරීම ඔවුන්ගේ අරමුණයි. පාකිස්තානය සහ චීනය අතර පවතින ආර්ථිකමය සුහඳත්වය කඩාකප්පල් කිරීමට ඉන්දීය රජය උත්සාහ ගන්නවා’ යැයි පාකිස්තාන විදේශ කටයුතු ඇමැතිවරයා ඉන්දියාවට චෝදනා කරමින් පැවැසුවේය.

ඉන්දියාව, ත්‍රස්ත කල්ලිවලට අනුග්‍රහය ලබා දෙන බවට ලැබුණු සියලු බුද්ධි අංශ තොරතුරු තමන් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත යොමු කිරීමට පියවර ගන්නා බව ද පාකිස්තාන රජය වෙනුවෙන් ඇමැති ෂා මොහොමද් කුරේෂි වැඩි දුරටත් කියා සිටියේය.

ඉස්ලාමාබාද්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS