තමිල්නාඩුවේ ආරක්ෂාව තර කෙරේ



අල්කයිඩා සහ අයි.එස්.අයි.එස් ඇතුළු ආගමික අන්තවාදී සංවිධාන ශ්‍රී ලංකාව තුළ තහනම් කරමින් ශ්‍රී ලංකා රජය අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමත් සමඟ තමිල්නාඩු ප්‍රාන්තයේ ආරක්ෂාව දැඩි කර ඇතැයි ‘ද හින්දු’ පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.  

විශේෂයෙන්ම ජාත්‍යන්තර මගීන් පැමිණෙන ගුවන් තොටුපොළවල සහ තමිල්නාඩු ප්‍රාන්තයේ වෙරළබඩ දිස්ත්‍රික්කවල ආරක්ෂාව මෙලෙස වැඩි කර ඇතැයි වාර්තා වේ.  

අල්කයිඩා සහ අයි.එස්.අයි.එස් ඇතුළු ආගමික අන්තවාදී සංවිධාන 11ක් තහනම් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතු ව ඉකුත් දා (14) එම අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබිණි.  

මෙලෙස අන්තවාදී කණ්ඩායම් හා සංවිධාන තහනම් කිරීම තුළින් ඉන්දියාවට, විශේෂයෙන්ම ප්‍රාන්තයට බලපෑමක් එල්ල විය හැකි යැයි තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රාන්ත පොලිස් අධ්‍යක්ෂ ජෙනරාල් ජේ.කේ. ත්‍රිපාති සියල පොලිස් කොමසාරිස්වරුන්ට සහ පොලිස් පරීක්ෂකවරුන්ට ලිපියක් යවමින් දැනුම් දී ඇත.  

භූගෝලීය පිහිටීම සලකා බැලීමේදී මෙවැනි ආගමික මූලධර්මවාදීන්ට සහ අන්තවාදීන්ට සහාය පළ කරන පිරිස් සිටින බැවින් ද තමිල්නාඩුවේ ඇතැම් කණ්ඩායම් ද මේවාට සම්බන්ධ බැවින් තහනම් කරන ලද සංවිධානවල සාමාජිකයන් මුහුදින් හෝ ගුවනින් තමිල්නාඩුවට පැමිණීමේ අවදානමක් ඇතැයි ද ප්‍රාන්ත පොලිස් අධ්‍යක්ෂ ජෙනරාල් ජේ.කේ. ත්‍රිපාති සඳහන් කර ඇත. බෙංගාල බොක්ක හරහා පැමිණෙන ධීවර බෝට්ටුවලින් මොවුන් පැමිණිය හැකි යැයි හෙතෙම අනතුරු අඟවා ඇත. 


RECOMMEND POSTS