ඩොනල්ඞ් ට්‍රම්ප් මාධ්‍ය ආයතනවලට දෙහි කපයි



ජනපති ධුරයට පත්වී පළමු දින 100 සැමරීම නිමින්තෙන්, පෙන්සිල්වේනියා ජනපදයේ හැරිස්වර්ත් නුවර පැවැති ජන රැලියකට එක් වෙමින් ඩොනල්ඞ් ට්‍රම්ප් මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන්ට දොස් නැගුවේය.

ට්‍රම්ප් මෙසේ දොස් නැගුවේ, පසුගිය කාලය පුරාවට ඔහු දැඩි ලෙස විවේචනය කරමින් පුවත් ඉදිරිපත් කළ මාධ්‍ය ආයතන ඉලක්ක කර ගනිමිනි.

ඇමෙරිකාවේ සී.එන්.එන්. පමණක් නොව, බී.බී.සී. පුවත් සේවයට එසේ දෝෂාරෝපණයට ලක්වුණු පුවත් නාළිකා අතරේ සිටී.

ජනපති ට්‍රම්ප් මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතනවලට දොස් නගන්නේ ‘ව්‍යාජ පුවත්’ පළ කරන බවටය. ට්‍රම්ප් වැඩි දුරටත් චෝදනා කර ඇත්තේ එම මාධ්‍ය ආයතන තමන් විවේචනය කරමින් ජනතාව උසිගන්වන බවටය.

කෙසේ නමුත් ඇමෙරිකාවේ ෆොක්ස් නාළිකාව ගැන ජනපතිවරයාගේ ලොකු පැහැදීමක් ඇති බව පෙනෙයි. නිවැරදි ලෙස අපක්ෂපාතී පුවත් වාර්තා කරන්නේ ෆොක්ස් නාළිකාව පමණක් යැයි ජනපති ට්‍රම්ප් පවසා ඇත.

මාධ්‍ය මොනවා වාර්තා කළත් තම පළමු දින 100 ඉතා සාර්ථක බව ද ට්‍රම්ප් හැරිස්වර්ත් නුවර ජන රැලියේදී කියා සිටියේය.

ඊට අමතරව පසුගියදා ට්‍රම්ප් ෆොක්ස් නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් විය. එහිදී ද ඔහු කියා සිටියේ පළමු දින 100 ඉතා සාර්ථක වුණු බවත් තමා ඇමෙරිකන් වැසියන්ට දුන් ඡන්ද පොරොන්දු කඩ නොකළ බවත්ය.
ට්‍රම්ප්ට සහාය පළ කරමින් ඔහුගේ රිපබ්ලිකන් අපේක්ෂකයෝ දහස් ගණනක් ඊට එක් වූහ. උප ජනාධිපති මයික් පෙන්ස් ද ඊට සහභාගී වී සිටියේය.

මේ අතර ට්‍රම්ප්ගේ දින 100 ට විරෝධය පළ කරමින්, ඇමෙරිකාවේ ප්‍රධාන නගර කිහිපයක විරෝධතා රැලි ද පැවැත්විණි.

ඇමෙරිකාවට පහළ වූ ‘වඩාත් මාධ්‍ය විරෝධී ජනපතිවරයා’ ඩොනල්ඞ් ට්‍රම්ප් යැයි මාධ්‍ය විසින් හඳුන්වා දෙනු ලැබ ඇත. සාම්ප්‍රදායික වශයෙන් ඇමෙරිකන් ජනපතිවරයා සිය පළමු දින සියය සම්පූර්ණ කිරීමෙන් පසු, ඇමෙරිකන් මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වයි.

එම භෝජන සංග්‍රහය ‘වර්ජනය’ කිරීමට ද ජනපති ට්‍රම්ප් පියවර ගත්තේය. තමා භෝජන සංග්‍රහයට සහභාගී නොවන බව ජනපති ට්‍රම්ප් කල් තියා දැනුම් දී තිබුණි. මීට පෙර මේ අයුරින් එම රාත්‍රී ඪෝජන සංග්‍රහය ‘වර්ජනය’ කළේ ජනපති රොනල්ඞ් රේගන්ය. ඒ, 1981 වසරේදීය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS