ඩොනල්ඞ් ට්‍රම්ප් ජනවාරි 20 දිවුරුම් දෙයි



 

ඇමෙරිකාවේ 45 වැනි ජනපති ලෙස රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඞ් ට්‍රම්ප අද (20) දිවුරුම් දෙයි. 

දිවුරුම්දීමේ උත්සවය පැවැත්වෙන්නේ ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර කැපිටල් ගොඩනැගිල්ලේය. ඇමෙරිකානු උත්තර මන්ත්‍රී මණ්ඩලය හෙවත් සෙනෙට් මණ්ඩලය රැස්වන ගොඩනැගිල්ල වන්නේ ද මෙයයි.

ට්‍රම්ප්ගේ ආරාධනාව පිළිගෙන ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරුන් වන ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්, බිල් ක්ලින්ටන් සහ ජිමී කාටර් දිවුරුම්දීමේ උත්සවයට පැමිණෙති. 

හිටපු ජනපතිවරුන් පැමිණෙන්නේ ඔවුන්ගේ බිරින්දෑවරුන් ද සමඟය. බිල් ක්ලින්ටන්ගේ බිරිය මෙන්ම ජනපතිවරණ සටනේ දී, ට්‍රම්ප්ට අභියෝගයක් වුණු ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂියා හිලරි ක්ලින්ටන් ද ට්‍රම්ප්ගේ ආරාධානා ලැබ දිවුරුම් දීමට පැමිණීමට සහභාගී වන්නීය. 

ජනපති සටනින් පරාජයට පත්වීමෙන් පසු, හිලරි ක්ලින්ටන් සහ ඩොනල්ඞ් ට්‍රම්ප් මුහුණට මුහුණ හමුවන පළමු අවස්ථාව මෙය වනු ඇති බව ද විදෙස් පුවත් සේවා වාර්තා කරයි. 

ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ පියා මෙන්ම ඇමෙරිකාවේ හිටපු ජනපතිවරයකු වන 72 හැවිරිදි ජෝර්ජ් එච් ඩබ්ලිව් බුෂ්ට ද දිවුරුම් දීමේ උලෙළට ඇරැයුම් ලැබී ඇති නමුත්, ඔහු සහ බිරිය බාබරා බුෂ් අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් මේ වනවිට රෝහල්ගතව සිටිති. එහෙයින් මොවුන් දෙදෙනා උලෙළට සහභාගී නොවන බව දැනුම් දී තිබේ. ජෝර්ජ් එච් ඩබ්ලිව් බුෂ් ඇමෙරිකාවේ 41 වැනි ජනපතිවරයාය.

කැපිටල් ගොඩනැගිල්ල ඉදිරිපිට විශේෂ වේදිකාවේ පැවැත්වෙන දිවුරුම්දීමේ උත්සවය නැරැඹීමට ලක්ෂ 8 කට වැඩි පිරිසක් සහභාගී වීමට නියමිත යැයි සංවිධාකයෝ කියති. ට්‍රම්ප්ට විරෝධය පළ කරමින් දිවුරුම්දීමේ උත්සවයට සමගාමීව විරෝධතා රැලි කිහිපයක් ද වොෂින්ටන් අගනුවර පැවැත්වෙයි. ඊට 40,000 ක් සහභාගීවන බව දන්වා ඇත. මීට අමතරව දිවුරුම්දීමේ උත්සවයේ ආරක්ෂාව වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියනයක් වැය කරන බව ද වාර්තා වේ.

(රොයිටර්)


RECOMMEND POSTS