ට්‍ර්ම්ප් බයිඩන්ට වඩා පසුපසින්



ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 3 වැනිදා පැවැත්වීමට නියමිත අතර, ඊට ඉදිරිපත් වීමට නියමිත රිපබ්ලිකන් අපේක්ෂක ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට වඩා ප්‍රතිවාදී අපේක්ෂක ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩන්ගේ ජනප්‍රියත්වය ඉහළ ගොස් ඇතැයි ජනමත සමීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

ජනමත සමීක්ෂණ පවත්වා ඇත්තේ රොයිටර්, එන්.බී.සී නිවුස් සහ වෝල් ස්ටී්‍රට් ජර්නල් ඇතුළු ඇමෙරිකන් පුවත් සේවා මැදිහත් වීමෙනි. ඒ අනුව, පෙනී ගොස් ඇත්තේ, ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප්ට සියයට 41 ක ඡන්ද ප්‍රතිශතයක් ද බයිඩන්ට සියයට 50 ක ඡන්ද ප්‍රතිශතයක් ද හිමිවනු ඇති බවය.

ඇමෙරිකන් වැසියන්ගෙන් සියයට 72 ක පිරිසක් විශ්වාස කරන්නේ ඇමෙරිකන් ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් වයිරසය අවතක්සේරු කළ බැවින් ඇමෙරිකාව මේ වනවිට කොරෝනා වයිරසයේ කේන්ද්‍රස්ථානය වී ඇති බවය. අද වනවිට ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි.

ඇමෙරිකන් ජනාධිපතිවරයා, ඇමෙරිකා සේනාධිනායකයා ද වන අතර, යම් හෙයකින්, ජනාධිපතිවරයාගේ ජීවිතයට අනතුරක් වුවහොත්, එම ධුරය හොබවන ඔහුට හෝ ඇයට හෝ නියමිත ආකාරයට රාජකාරී කරගෙන යෑමට නොහැකි වුවහොත්, ඇමෙරිකානු ව්‍යවස්ථාවේ, 25 වැනි සංශෝධනයට අනුව, ජනපති බලතල හිමිවන්නේ ජනපතිගේ දෙවැනියා වන උප ජනාධිපතිවරයාටය.

ට්‍රම්ප්ගේ දෙවැනියා මෙන්ම ඇමෙරිකාවේ උප ජනාධිපතිවරයා වන්නේ මයික් පෙන්ස්ය. ට්‍රම්ප් සහ මෙලානියා කොවිඞ් 19 හෙවත් කොරෝනා වයිරස ආසාදිතයන් බව තහවුරු වෙද්දී, මයික් පෙන්ස් ද වෛද්‍ය පරීක්ෂණවලට යොමු කෙරුණු අතර, එහිදී සනාථ වූයේ පෙන්ස් කොරෝනා ආසාදිතයකු නොවන බවය.

(රොයිටර්)


RECOMMEND POSTS