ට්‍රම්ප්ට විරෝධයක්



ඇමෙරිකාවේ පෙන්සිල්වේනියා ජනපදයේ පිට්ස්බර්ග් නුවර යුදෙව් භක්තිකයන්ගේ සම්මුති ශාලාවට එල්ල වුණු ප්‍රහාරය මුල්කොට ගනිමින් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට විරෝධයක් එල්ල වෙමින් පවතී.

ට්‍රම්ප්ට විරෝධය එල්ල වී ඇත්තේ පෙන්සිල්වේනියා ජනපදයේ සහ පිට්ස්බර්ග් නුවර වෙසෙන යුදෙව්වන්ගෙනි. යුදෙව්වන් ඇමෙරිකාවේ සුළුතර ජනකොටසය. යුදෙව්වන්, ට්‍රම්ප් පරිපාලනයට චෝදනා කරන්නේ තමන් ආරක්ෂා කර ගැනීමට, ට්‍රම්ප් පරිපාලනය අපොහොසත් බවය.

පසුගිය 27 වැනිදා, පිට්ස්බර්ග් යුදෙව් භක්තිකයන්ගේ සම්මුති ශාලාවේ කඩා වැදුණු සුදු ජාතික ඇමෙරිකානුවා කළ වෙඩි තැබීමෙන් යුදෙව්වන් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. බොහෝ දෙනෙක් තුවාල ලැබූහ.

වෙඩි තැබීම කළේ 46 හැවිරිදි රොබට් බෝවර්ස් නමැත්තාය. පොලිසිය පැමිණ කළ වෙඩි තැබීමකින් පසු තුවාල ලැබූ රොබට් බෝවර්ස් අත්අඩංගුවට ගනු ලැබුණි. වෙඩි තැබීම සිදුවෙද්දී සම්මුති ශාලාවේ කුඩා යුදෙව් දරුවකුගේ නම් තැබීමේ උත්සවයක් පැවැත්වෙමින් තිබුණි.

වෙඩි තැබීම සිදුවුණු අවස්ථාවේදී, ජනාධිපති ට්‍රම්ප් ඒ ගැන සිය කනගාටුව පළ කළේය. වෙඩි ප්‍රහාරය හෙලා දකිමින් ට්‍රම්ප් කියා සිටියේ යුදෙව්වන්ගේ ආරක්ෂාව සහතික කිරීමට පියවර ගන්නා බවය. යුදෙව් ප්‍රජාව චෝදනා නගන්නේ ට්‍රම්ප්ගේ ජාතිකවාදී ප්‍රතිපත්ති හේතුවෙන්, එයි උද්දාමයට මත් උම්මත්තකයකු ලෙස රොබට් බෝවර්ස් වෙඩි තැබීම සිදු කළ බවටය.

තව නොබෝ දිනකින් ඇමෙරිකා මධ්‍යවාර මැතිවරණය පැවැත්වෙයි. මේ වනවිට ජනාධිපති ට්‍රම්ප් ඇමෙරිකාව පුරා යමින් මැතිවරණ රැළිවලට සහභාගී වෙයි. ධවල මන්දිරය පවසා ඇත්තේ ට්‍රම්ප්, බිරිඳ මෙලානියා ද සමඟ පෙන්සිල්වේනියාවේ පිට්ස්බර්ග් බලා නගරයට යෑමට සූදානමින් සිටින බවය. පිට්ස්බර්ග් යුදෙව් ප්‍රජාව පවසා ඇත්තේ ට්‍රම්ප් නගරයට පැමිණෙනවාට තමන්ගේ කැමැත්තක් නොමැති බවය.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS