ට්‍රම්ප්ට ඉක්මන් සුව පතති



ලොව බලවත්ම රට සැලකෙන ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ එම ආර්යාවට ‘කොවිඩ්-19’ වයිරසය ආසාදනය වූ බව වාර්තා වූ වහාම ඊට ප්‍රතිචාර දැක්වීමට ලෝක නායකයෝ යුහුසුළු වූහ.

තමන්ට සහ ජනාධිපති ආර්යාවට ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ටිව්ටර් පණිවුඩයක් නිකුත් කරමින්  සඳහන් කළේය.

‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා ගෝලීය වයිරස වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ලෝක නායකයන් ප්‍රමුඛ එම රටවල ආණ්ඩු මහත් පරිශ්‍රමයක් ගත්තේ ය. ඒ අතරවාරයේදී බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු ඇතුළු රජ පවුල්වල සාමාජිකයන් මෙන්ම රාජ්‍ය නායකයන් රැසක් ද වයිරසයට ගොදුරු වූහ.

මේ දුෂ්කර අවස්ථාවේදී සිය සහයෝගය දෙන බවත් ඉක්මන් සුව ප්‍රාර්ථනා කරන බවත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සඳහන් කළේය. රුසියානු ජනාධිපතිවරයා වෙනුවෙන් ක්‍රෙම්ලීනය ඇමෙරිකානු ජනාධිපතිවරයාට ඉක්මන් සුව පතමින් නිවේදනයක් නිකුත් කර තිබිණි.

“ඔබට උරුමයෙන්ම තිබෙන බලවත් උනන්දුව, සුබවාදී බව සහ යහපත මේ වයිරසයෙන් මිදෙන්නට උපකාරි වේ යැයි මා තදින් විශ්වාස කරනවා. ඔබට ඉක්මන් සුව” රුසියානු ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් ඇමෙරිකානු ජනාධිපතිවරයාට සහ ඔහුගේ බිරිඳට ඉක්මන් සුව ප්‍රාර්ථනා කළ බව චාන්සලර්වරියාගේ ප්‍රකාශකයකු උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබිණි.

“ඇමෙරිකානු ජනාධිපතිවරයාට සහ ආර්යාවට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා” යැයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ද නිවේදනය කළේය.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ද නව කොරෝනා වයිරසයට ගොදුරු වූ අතර ඔහු ඉකුත් අප්‍රේල් මාසයේදී නව කොරෝනා වයිරසයේ රෝග ලක්ෂණ උත්සන්න වීම හේතුවෙන් දැඩි සත්කාර ඒකකයටද ඇතුළත් කළේය.

ඒ.එෆ්.පී.


RECOMMEND POSTS