ට්‍රම්ප්ගේ ප්‍රකාශයට ඉතියෝපියාවේ විරෝධය



ඊජිප්තුවේ දැඩි විරෝධය මැද, ඉතියෝපියාව නයිල් නදිය හරස් කරමින් ඉදි කර ඇති යෝධ වේල්ල සම්බන්ධයෙන් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයක් ඉතියෝපියානුවන්ගේ දැඩි විරෝධයට හේතුවක් වී ඇත.

 

ජනපති ට්‍රම්ප් වේල්ල සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත්තේ ඊජිප්තුවට සහාය පළ කරමිණි. වේල්ලට අකමැති නම්, ඊජිප්තුව කළ යුතු වන්නේ පහර දී එය විනාශ කිරීම යැයි ජනපති ට්‍රම්ප් පවසා තිබේ.

මේ සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කිරීමට ඉතියෝපියා අග්‍රාමාත්‍ය ඇබි අහ්මද්, ඉතියෝපියාවේ ඇමෙරිකන් තානාපතිවරයා ගෙන්වූ බව ද වාර්තා වේ.

ඩොලර් බිලියන 40 ක ව්‍යාපෘතියක් යටතේ නිල් නයිල් නදිය හරස් කරමින් මෙම වේල්ල ඉදි වී ඇත. වේල්ලේ වැඩ කටයුතු තවමත් සම්පූර්ණයෙන් අවසන් වී නොමැති බව ද පැවැසෙයි. ඉතියෝපියාව මෙම වේල්ල ඉදි කරන්නේ විදුලි බලය ලබා ගැනීමේ අරමුණින්ය.

වේල්ල ඉදි කිරීමෙන් නයිල් නදියට තර්ජනයක් වන බවටත් තමන්ට ලැබෙන ජල ප්‍රමාණය අඩුවී යන බවටත් ඊජිප්තුව සහ සුඩානය චෝදනා කරයි. වේල්ලට විරෝධයක් එල්ල වී ඇත්තේ එහෙයිනි.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)‍


RECOMMEND POSTS