ට්‍රම්ප්ගේ නව රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් දිවුරුම් දෙයි



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් එරට රාජ්‍ය ලේකම් ධුරය සඳහා නම් කළ රෙක්ස් ටිලර්සන් ඊයේ එම ධුරයේ දිවුරුම් දුන්නේය.

64 හැවිරිදි රෙක්ස් ටිලර්සන් ද ඩොනල්ඞ් ට්‍රම්ප් සේම දක්ෂ ව්‍යාපාරිකයෙකි. රෙක්ස් ටිලර්සන් තෙල් සමාගම් හිමිකරුවෙකි. ඊට අමතරව ‘එක්සොන් මොබයිල්’ සමාගමේ ප්‍රධාන විධායක ලෙස කටයුතු කළේ ද මොහුය.

ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් රාජ්‍ය ලේකම් ධුරය සඳහා රෙක්ස් ටිලර්සන් නම් කරනු ලැබීමෙන් පසු, ඒ සම්බන්ධයෙන් ඇමෙරිකන් සෙනෙට් මණ්ඩලයේ ඡන්දය විමසීමක් සිදුවිය. එහිදී වැඩි දෙනා කැමැත්ත පළ කළේ රෙක්ස් ටිලර්සන් ඇමෙරිකාවේ නව රාජ්‍ය ලේකම් ලෙස පත් කළ යුතුයි කියාය. ඒ අනුව ටෙක්සාස් වැසියකු වන රෙක්ස් ටිලර්සන් ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී නව රාජ්‍ය ලේකම් ලෙස දිවුරුම් දී වැඩ භාර ගත්තේය. එම අවස්ථාවට ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් පමණක් නොව උප ජනාධිපති මයික් පෙන්ස් ද සහභාගී වූහ.

දිවුරුම් දෙමින් රෙක්ස් ටිලර්සන් කියා සිටියේ ඇමෙරිකන් වැසියන්ට ප්‍රමුඛත්වය දෙමින්, ඇමෙරිකාවට අවංක වෙමින් සිය රාජකාරි ඉටු කරන බවය. ඩොනල්ඞ් ට්‍රම්ප් සේම රෙක්ස් ටිලර්සන් ද කිසිදු දේශපාලන පසුබිමක් ඇති අයකු හෝ දේශපාලනයට සම්බන්ධ අයකු හෝ නොවන බව ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

2013 වසරේ දී රුසියානු රජයට අයත් රොස්නෙෆ්ට් තෙල් සමාගම සමඟ ලොඩර් මිලියන ගණනක ගිවිසුමක් ඇති කර ගැනීම සිදු කළේ ද රෙක්ස් ටිලර්සන්ගේ මැදිහත්වීමෙනි. දෙරට අතර හොඳහිත ඇති කර ගැනීමට දායක වුණැයි පවසමින් රුසියන් රජය විසින් 2013 වසරේ දී ‘මිත්‍රත්වයේ සම්මානය’ යනුවෙන් විශේෂ පදක්කමක් ද රෙක්ස් ටිලර්සන්ට පිරිනමන ලදී.

රුසියාවේ ඇතැම් ක්‍රියාකලාප ඇමෙරිකාවට පමණක් නොව සෙසු බටහිර රටවලට තර්ජනයක් බව තමා පිළිගන්නා බව රෙක්ස් ටිලර්සන් පවසා ඇති නමුත් ව්ලැදිමීර් පුටින් යුද අපරාධකරුවකු ලෙස තමා පිළිගන්නේ නැති බව ඔහු සෙනෙට් කමිටුවක් හමුවේ පවසා ඇත.

ඇමෙරිකාවේ සම්ප්‍රදායට ගරු කරමින්, ඇමෙරිකාවට හානි නොවන අයුරින් රුසියාව සමඟ හොඳ හිත පතුරුවා ගැනීමට ජනපති ට්‍රම්ප් ගන්නා උත්සාහයට ගරු කරමින් කටයුතු කරන බව ද නව රාජ්‍ය ලේකම් ලෙස රෙක්ස් ටිලර්සන් වැඩි දුරටත් පවසා ඇත.

මානව හිමිකම්, ගෝලීය කාලගුණ විපර්යාස සම්බන්ධයෙන් පමණක් නොව චීනය සහ ඇමෙරිකාව අතර හොඳ හිත වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් තමන් කටයුතු කරන බව ද දිවුරුම් දීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රෙක්ස් ටිලර්සන් අවධාරණය කළේය.

 

(රොයිටර්)


RECOMMEND POSTS