ට්‍රම්ප්ගේ නව තහංචියටත් තහංචි



මුස්ලිම් රටවල් 6 ක වැසියන්ට, ඇමෙරිකාවට පැමිණීම වළක්වමින්,  ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සංශෝධනය සහිතව නිකුත් කළ නව ‘තහනම් නියෝගය’ට ඇමෙරිකාවට අයත් හවායි දූපත්හි විනිසුරුවරයෙක් පෙරේදා (15) වාරණ නියෝගයක් නිකුත් කළේය.

සංශෝධන සහිතව ජනපති ට්‍රම්ප් නිකුත් කළ හම තහනම් නියෝගය පෙරේදා (15) මැදියම් රැයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණි. ඊට විරෝධය පළ කරමින්, ඇමෙරිකාවේ සිවිල් සංවිධාන රැසක් ප්‍රධාන නගර රැසක විරෝධතා සංවිධානය කර තිබුණි.

ඊට අමතරව ඇමෙරිකාවට පැමිණෙන සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ද දින 120 ක ජනාධිපති ට්‍රම්ප් තහංචියක් පනවා තිබුණි. එම තහංචියට ද හවායි විනිසුරුවරයා වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ජනාධිපති ට්‍රම්ප්ගේ එම විධායක නියෝගයට හරස් වී, ඊට අභියෝග කරමින්, වාරණ නියෝගය නිකුත් කළේ හවායිහි ඇමෙරිකන් දිසා විනිසුරු ඩෙරික් වොට්සන්ය.

ජාතික ආරක්ෂාව වෙනුවෙන් යැයි පවසමින් ජනපති ට්‍රම්ප් පැනැවූ එම තහංචි නියෝගය පදනම් විරහිත හේතු මත නිකුත් කර ඇතැයි විනිසුරු ඩෙරික් වොට්සන් පෙන්වා දුන්නේය.

ජනපති ට්‍රම්ප් දෙවැනි වරටත් එම විධායක නියෝගය නිකුත් කළේ දින 90 ක තහනමක් වෙනුවෙනි. ඒ මුස්ලිම් රටවල් 6 ක් වෙනුවෙනි. පසුගිය ජනවාරි 27 වැනිදා ට්‍රම්ප් පළමුවෙන් එම තහංචි නියෝගය නිකුත් කළ අවස්ථාවේ රටවල් 7 ක් විය.

සංශෝධන සහිතව නිකුත් කළ නව නියෝගයට අයත් වන රටවල් 6 වන්නේ ඉරානය, සිරියාව, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනයයි. ට්‍රම්ප් මීට පෙර පළමු වරට එම තහංචි නියෝගය නිකුත් කළ අවස්ථාවේදී ඉරාකයට ද තහංචි පනවා තිබුණි.

(රොයිටර්)


RECOMMEND POSTS