ට්‍රම්ප්ගේ දිවුරුම්දීම හිලරිටත් එන්න කියලා



ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ඩොනල්ඞ් ට්‍රම්ප්, ලබන 20 වැනිදා එරට 45 වැනි ජනපති ලෙස දිවුරුම් දීමට නියමිත අතර, දිවුරුම් දීමේ එම උත්සවයට ජනපතිවරණයේ දී ප්‍රතිවාදිනිය වූ හිලරි ක්ලින්ටන්ට ඇරැයුම් කිරීමට ද ඩොනල්ඞ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ මෙම ක්‍රියා කලාපය කවුරුත් පුදුමයට පත් කිරීමට ද හේතුවක් වී ඇති බව ඇමෙරිකන් පුවත් සේවා වැඩි දුරටත් වාර්තා කර තිබේ. ඊට අමතරව සම්භාවනීය අමුත්තන් ලෙස ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරුන් දෙපළක් වන ජිමී කාටර් සහ ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ට ද ට්‍රම්ප් ඇරැයුම් යවා ඇතැයි ද පැවැසෙයි.

නොවැම්බරයේ පැවැති ජනාධිපතිවරණයේ දී, ට්‍රම්ප් සහ හිලරි ක්ලින්ටන් තරග වැදුණේ එකිනෙකාට පරිභව කරගනිමින් හා ‘මඩ ප්‍රහාර’ ද එල්ල කර ගනිමිනි. රූපවාහිනී විවාදවලදී දෙදෙනා එකිනෙකාට බැණ ගත්හ.

එම අවස්ථාවේදී ඇමෙරිකන් දේශපාලන විචාරකයන් පවසා තිබුණේ ඇමෙරිකන් ජනපතිවරණයට ඉදිරිපත්වුණු අපේක්ෂකයන් දෙදෙනකු මෙතරම් පහත් තත්ත්වයකට වැටී ඇති අයුරු දුටු පළමු අවස්ථාව එය කියාය.

ඩිමොක්‍රටික් පාක්ෂිකා හිලරි ක්ලින්ටන්, රිපබ්ලිකන් පාක්ෂික ට්‍රම්ප්ට, චෝදනා කළේ ජාතිකවාදියකු, බදු වංචාකරුවකු යනුවෙනි. ට්‍රම්ප් හිලරි ක්ලින්ටන්ට දොස් නැගුවේ ඇගේ ඊමේල් අවභාවිතය සම්බන්ධවය. අවසානයේ දී කවුරුත් මවිතයට පත් කරමින් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීමට හිලරි ක්ලින්ටන්ගේ එම ඊමේල් අවභාවිතය හේතුවක් විය.

තමා ජනාධිපති වුවහොත් නව නීතිපතිවරයා මගින් විශේෂ පරීක්ෂණ සහ නඩු විභාග පවත්වා හිලරි ක්ලින්ටන් හිරේ දමනවා යැයි ද ට්‍රම්ප් පවසා තිබුණි. කෙසේ නමුත් ජනපති ධුරයට පත්වීමෙන් පසු, ට්‍රම්ප් එම අදහස වෙනස් කළේය. ඊට වත්මන් ජනාධිපති බැරැක් ඔබාමා ද මැදිහත් වුණු බව වොෂින්ටන් අගනුවරින් වාර්තා විය.

 

(රොයිටර්)


RECOMMEND POSTS