ට්‍රම්ප් වැඩ බලන නීතිපති ගෙදර යවයි



ඇමෙරිකාවේ වැඩ බලන නීතිපති සැලී යේට්ස් ධුරයෙන් නෙරපා දැමීමට නව ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පියවර ගත් බව ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

ඇමෙරිකාවට මුස්ලිම් සංක්‍රමණිකයන් පැමිණීම වළක්වාලමින් මුස්ලිම් රටවල් හතකට තහංචි පනවමින් ට්‍රම්ප් ලබා දුන් විධායක නියෝගය ක්‍රියාත්මක කිරීමට පසුබටවීම සහ එම නියෝගය සම්බන්ධයෙන් නීතිමය පදනම දිගින් දිගටම ප්‍රශ්න කිරීම නිසා සැලී යේට්ස් සිය ධුරයෙන් නෙරපා දැමීමට ජනාධිපති ට්‍රම්ප් කටයුතු කළ බව ධවල මන්දිරය පවසා ඇත.

ජනාධිපති ට්‍රම්ප් එම විධායක නියෝගය නිකුත් කළ අවස්ථාවේදී වැඩ බලන නීතිපති ලෙස යේට්ස්, නීතිපති දෙපාර්තමේන්තුවේ නීතීඥවරුන්ට අණදී ඇත්තේ ජනපතිවරයාගේ එම විධායක නියෝගය සඳහා අනුග්‍රහාය නොදක්වන ලෙස යැයි ද ධවල මන්දිරය වැඩි දුරටත් කියා සිටී. ඒ අනුව, යේට්ස් නීතිපති කාර්යාලය ‘පාවා දීමකට’ ලක් කළේ යැයි ධවල මන්දිරය චෝදනා කර ඇත.

යේට්ස් ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු, වැඩ බලන නීතිපති ලෙස එම ධුරයට පත් කෙරුණේ වර්ජීනියාවේ නැගෙනහිර දිස්ත්‍රික්කයේ නීතිපති ලෙස කටයුතු කළ ඩානා බොනෙට් ය.

ඊට අමතරව තම විධායක නියෝගයට හරස්වුණු ආගමන විගමන ප්‍රධානී ඩැනියෙල් රැග්ස්ඬේල් ද සිය ධුරයෙන් ඉවත් කිරීමට නව ජනාධිපති ට්‍රම්ප් කටයුතු කළ බව ඇමෙරිකන් පුවත් සේවා වැඩි දුරටත් වාර්තා කර ඇත. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වැඩ බලන ප්‍රධානියා ලෙස එම ධුරය තෝමස් හොමාන්ට හිමිවිය.

මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් හතක වැසියන්ට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කරමින් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සිය විධායක නියෝගයට අත්සන් කළේ පසුගිය සිකුරාදා දිනයේය. එම මුස්ලිම් රටවල් හත ඉරානය, ඉරාකය, ලිබියාව, සෝමාලියාව, සුඩානය, සිරියාව සහ යේමනයයි.

එම නියෝගයත් සමඟ ඇමෙරිකා ගුවන්තොටුපොළවලට පැමිණි සිය ගණනක් මුස්ලිම් වැසියෝ ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ විසින් රඳවා ගනු ලැබූහ. එම පිරිස අතර ඇමෙරිකාව හරහා වෙනත් රටවලට යෑමට සූදානමින් සිටි අය පමණක් නොව, ඇමෙරිකන් ද්විත්ව පුරවැසියෝ ද සිටියහ.

ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ විසින් එසේ රඳවා ගත් එම රටවල් හතේ වැසියන් වහා නිදහස් කරන්නැයි ඇමෙරිකන් සිවිල් අයිතීන් සුරැකීමේ සංවිධාන අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය. ඒ අනුව ඉකුත් 29 වැනිදා නිව්යෝක් අධිකරණයක් වාරණ නියෝගය නිකුත් කළේ ගුවන්තොටුපොළ බලධාරීන් විසින් රඳවා ගනු ලැබූ එම පිරිස වහා නිදහස් කරන ලෙසටය.

අයි.එස්.අයි.එස්. වැනි ත්‍රස්ත සංවිධාන ඇමෙරිකාවට තර්ජනයක් වී ඇත්තේ මෙවැනි සංක්‍රමණිකයන් නිසා යැයි ජනපති ට්‍රම්ප් විශ්වාස කරයි. ට්‍රම්ප් අවස්ථා කිහිපයකදීම පවසා ඇත්තේ 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරය වැනි ප්‍රහාරයක් යළි සිදු නොවීමට වග බලා ගැනීමට තමන් කටයුතු කරන බවටය. කෙසේ නමුත් සෞදි අරාබියට එරෙහිව ට්‍රම්ප් තහංචි පනවා නැති බව ද වාර්තා වේ. 2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා ඇමෙරිකාවට පහර දුන් අල් කයිඩා සාමාජිකයන් සියල්ලෝම සෞදි ජාතිකයෝ වූහ. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සෞදි අරාබිය ඇතුළු ඔහුට හිතවත් රටවලට තහංචි පනවන්නේ නැතිව සෙසු මුස්ලිම් රටවල් 7 කට තහංචි පැනවීම පිළිබඳ ඇමෙරිකානුවෝ බොහෝ දෙනා විරෝධය පළ කරති.

(රොයිටර්)


RECOMMEND POSTS