ට්‍රම්ප් යළි දේශපාලන වේදිකාවේ



කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයකු බව තහවුරු වී, දින 3 ක් රෝහල්ගතව, තවමත් පර්යේෂණ මට්ටමේ පවතින ඖෂධ කිහිපයක් ලබා ගනිමින් කොරෝනා පරාජය කළ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් වරක් ජනතාව අතරට යමින් සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ කර තිබේ.

 

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය පරාජය කළේ දින 10 කට වඩා අඩු කාලයකිනි. ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් ට්‍රම්ප්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සැක කළත්, ධවල මන්දිරයේ ට්‍රම්ප්ගේ වෛද්‍යවරයා පවසා ඇත්තේ ට්‍රම්ප්ගේ අවසන් පීසීආර් පරීක්ෂණයෙන් ද තහවුරු වූයේ ට්‍රම්ප් තවදුරටත් කොරෝනා ආසාදිතයකු නොවන බවය.

 

ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ ලබන නොවැම්බර් 3 වැනිදාය. ෆ්ලොරීඩා ජනපදයේ සැන්ෆර්ඩ් හි ට්‍රම්ප්ගේ ජන රැලිය පැවැත්වුණු අතර, ඔහු වේදිකාවට ගොඩවූයේ ඊට සහභාගී වූයේ මුහුණු ආවරණය ගලවා විසි කරමිනි.

පසුගිය ඔක්තෝබර් දෙවැනිදා කොරෝනා ආසාදිතයකු බව තහවුරු වීමෙන් පසු, ට්‍රම්ප් සිට මැතිවරණ කටයුතු ආරම්භ කරමින්, මැතිවරණ රැලියකට එක්වුණු පළමු අවස්ථාව මෙයයි. පසුගිය සෙනසුරාදා ට්‍රම්ප් ධවල මන්දිරය ඉදිරිපිට ජන හමුවක් පැවැත්වීය. ඒ, කොරෝනා වයිරසය තමන් පරාජය කළ බවත්, වයිරසයට බියට නොවන බවත් සිය ආධාරකරුවන්ට ඒත්තු ගන්වමිනි.

ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී ට්‍රම්ප්ට ඇති ලොකුම අවාසිය වන්නේ කොරෝනා වසංගතයයි. තවමත් ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි.

ඇමෙරිකාවේ ආසාදිතයන් ගණන 8,037,789 කි. ඇමෙරිකාවෙන් වාර්තා වන මරණ 2,20,011 කි. ඇමෙරිකාවේ කොරෝනා වයිරසය ඉහවහා ගියේ ට්‍රම්ප් පරිපාලනයේ දුර්වලතා නිසා යැයි ට්‍රම්ප්ට චෝදනා එල්ල වී තිබේ.

ජනපතිවරණයට ඉදිරිපත්වන ප්‍රතිවාදී අපේක්ෂක ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩන් පවසා ඇත්තේ, තමන් බලයට පත්වුවහොත්, කොරෝනා වයිරස වසංගතය නිසි ලෙස කළමණාකරනය නොකිරීම සම්බන්ධයෙන් ට්‍රම්ප්ට එරෙහිව නීතිමගින් කටයුතු කරන බවය.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS