ට්‍රම්ප් බෑණා ‘ගැහැනියක’ විදියට ඡන්දය දාලා



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ බෑණා මෙන්ම ට්‍රම්ප්ගේ උපදේශකවරයකු ලෙස ද කටයුතු කරන ජෙරාඞ් කුෂ්නර් පසුගිය වසර 8 පුරාවට ඡන්දය දමා ඇත්තේ ‘පිරිමියකු’ ලෙස නොව ‘ගැහැනියක’ ලෙස ඡන්ද නාම ලේඛනයේ ලියාපදිංචි වී සිටිමින් යැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

මේ බව අනාවරණය කළේ ඇමෙරිකාවේ ‘වයර්ඞ්’ නමැති සගරාවය. ඔවුන් කුෂ්නර්ගේ ඡන්ද නාම ලේඛනයේ ඡායාරූපයක් ද ප්‍රසිද්ධියට පත් කර තිබේ. ඡන්ද නාම ලේඛනයේ ජෙරාඞ් කුෂ්නර් ලියාපදිංචි වී ඇත්තේ ‘පුරුෂ’ ලෙස නොව ‘ස්ත්‍රී’ ලෙස යැයි ඇමෙරිකන් මැතිවරණ බලධාරීන් පැහැදිලි කරයි. කුෂ්නර් ලියාපදිංචි වී ඇත්තේ නිව් ජර්සි ඡන්ද නාම ලේඛනයේය.

ඇමෙරිකා ජනාධිපතිගේ බෑණා මෙන්ම, ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු ද වන කුෂ්නර් ‘ගැහැනියක’ ලෙස ඡන්ද නාම ලේඛනයේ ලියාපදිංචි වී සිටින්නේ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් පමණක් නොව, වසර 8 ක් තිස්සේ ඔහු ‘ගැහැනියක’ ලෙස ඡන්දය පළ කළේ කෙසේදැයි යන්න අර්බුදයක් යැයි ‘වයර්ඞ්’ සගරාව පෙන්වා දී තිබේ.

පසුගිය වසරේ ඩොනල්ඞ් ට්‍රම්ප් ජනග්‍රහණය කළ ජනපතිවරණයේදී පවා කුෂ්නර් ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ ‘ගැහැනියක’ ලෙසිනි.
වසර 8 ක් තිස්සේ මෙය ඇමෙරිකන් මැතිවරණ බලධාරීන්ට දකින්න නොලැබුණේ කෙසේදැයි ‘වයර්ඞ්’ සඟරාව විමසයි. ඇමෙරිකන් ජනපතිගේ ප්‍රධාන උපදේශකවරයකු වන ජෙරාඞ් කුෂ්නර්ට නිවැරදිව ඡන්ද නාම ලේඛනය පිරවීමට පවා නොහැකි යැයි මේ වනවිට චෝදනා එල්ල වී ඇත. ඡන්ද නාම ලේඛනය පිරවීමට තරම් මූලික දැනුමක් හෝ ට්‍රම්ප්ගේ බෑණාට නොමැති බවටත් චෝදනා එල්ල වී තිබේ.
එපමණක් නොව, ඇමෙරිකන් ජනපතිගේ ප්‍රධාන උපදේශකයකු වන කුෂ්නර් තමා ගැහැනු ද පිරිමි ද යන්න සම්බන්ධයෙන් හරිහැටි නොදන්නා බව මෙම පුවත දුටු ඇතැමුන් පවසා ඇතැයි ද වාර්තා වේ.

කුෂ්නර් විවාහ වී සිටින්නේ ට්‍රම්ප්ගේ පළමු කසාදේ දියණිය වන ඉවන්කා සමඟය. කුෂ්නර් පමණක් නොව, ඉවන්කා ද ජනපති ට්‍රම්ප්ගේ උපදේශකවරු ලෙස කටයුතු කරති. ඒ වෙනුවෙන් ඔවුන් වැටුපක් ලබා ගන්නේ ද නැත.

පසුගිය 2016 වසරේ පැවැති ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, ඩිමොක්‍රටික් පාක්ෂික හිලරි ක්ලින්ටන් පරාජය කරමින්, රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඞ් ට්‍රම්ප් ජයග්‍රහණය කළේ රුසියාවේ බලපෑමක් ජනපතිවරණයට එල්ල වුණු නිසා යැයි චෝදනා එල්ල වී ඇත. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ට්‍රම්ප් අතරේ යහපත් සබඳතා පවතී.

රුසියන් ජනාධිපති පුටින්ගේ මෙහෙයවීමෙන් රුසියානු පරිගණක හැකර්වරුන් (දත්ත වෙනස් කරන්නන්) ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වෙනස් කළ නිසා ට්‍රම්ප්ට ජයග්‍රහණය හිමිවුණු බව පැවැසෙයි. මේ සම්බන්ධයෙන් ඇමෙරිකන් ආරක්ෂක අංශ පරීක්ෂණ පවත්වන අතර, එම ‘හුටපටයේ’ එක් සැකකරුවකු ලෙස සැලකෙන්නේ ද ජෙරාඞ් කුෂ්නර්ය.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS