ට්‍රම්ප් පවුලේ අය දැන් මාස්ක් දානවා



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයකු යැයි තහවුරු වීමත් සමඟ ට්‍රම්ප් මෙන්ම මුහුණු ආවරණ පැලඳීම සමච්චලයට ලක් කළ ට්‍රම්ප්ගේ පවුලේ සෙසු සාමාජිකයන් ද මේ වනවිට මුහුණු ආවරණ පැලඳ සිටිනු දකින්න ලැබෙන බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පමණක් නොව, බිරිඳ මෙලානියා ට්‍රම්ප් ද කොරෝනා ආසාදිතයකු බව හඳුනාගෙන තිබේ. ට්‍රම්ප් රෝහල් ගත කළත් 50 හැවිරිදි වියෙහි පසුවන මෙලානියා ධවල මන්දිරයේ නිරෝධානයනයේ තබා ඇති බවත් ඇගේ තත්ත්වය යහපත් බවත් ඇය සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන වෛද්‍යවරු පවසති.

ජනපති ට්‍රම්ප්ගේ පළමු කසාදයේ දියණිය වන ඉවන්කා (38) සහ ඇගේ සැමියා ජෙරාඞ් කුෂ්නර් (39) ට්‍රම්ප්ගේ උපදේශකවරුන් ලෙස කටයුතු කරයි. ට්‍රම්ප් සහ මෙලානියා කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනා ගැනෙද්දී, ඉවන්කා, ජෙරාඞ් ඇතුළු ට්‍රම්ප් කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනකු කොරෝනා පරීක්ෂණවලට යොමු කෙරුණි. ඉවන්කාට හෝ ජෙරාඞ්ට හෝ කොරෝනා ආසාදනය වී නොමැති බව ඒ අනුව තහවුරු විය.

ඉවන්කා සහ ජෙරාඞ් කුෂ්නර් දෙදෙනා, ඊයේ (4) උදෑසන, මුහුණු ආවරණ පැලඳ ව්‍යායාම ගනිමින් දිව යන අයුරු ඇමෙරිකන් මාධ්‍යවේදීන්ගේ කැමරාවල සටහන් විය.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS