ට්‍රම්ප් දිවුරුම් දෙයි



ඇමෙරිකාවේ 45 වැනි ජනාධිපති ලෙස ඩොනල්ඞ් ට්‍රම්ප් ඊයේ (20) දිවුරුම් දුන්නේය.

සම්ප්‍රදායට අනුව, ට්‍රම්ප් දිවුරුම් දුන්නේ ඇමෙරිකානු අගවිනිසුරු ජෝන් රොබර්ට්ස් ඉදිරියේය. එම අවස්ථාව දැක ගැනීමට ලක්ෂ 9 කට ආසන්න පිරිසක් දිවුරුම්දීමේ උත්සවය පැවැති වොෂින්ටන් අගනුවර කැපිටල්හිල් ගොඩනැගිල්ල ඉදිරියට රැස්ව සිටියහ. ට්‍රම්ප්ගේ දිවුරුම්දීම දැක ගැනීමට පැමිණි පිරිසෙන් බහුතරය ට්‍රම්ප්ට සහාය දැක්වූ රිපබ්ලිකන් පාක්ෂිකයෝය.

දේවාශිර්වාදය ලැබ 70 හැවිරිදි ඩොනල්ඞ් ට්‍රම්ප්, ඇමෙරිකාවේ 45 වැනි ජනපති ලෙස දිවුරුම් දුන්නේ එරට වේලාවන් හරියටම දවල් 12 ටය. උප ජනාධිපති ලෙස මයික් පෙන්ස් දිවුරුම් දුන්නේ ට්‍රම්ප් දිවුරුම්දීමට පෙරය. 
ට්‍රම්ප්ගේ සහ මෙලානියාගේ පුතු බැරන්, ට්‍රම්ප්ගේ පළමු කසාදයේ දියණිය ඉවන්කා ඇතුළු ට්‍රම්ප්ගේ පවුලේ සාමාජිකයෝ සැවොම දිවුරුම්දීමේ උත්සවයට පැමිණ සිටියහ.

විශේෂ ආරාධිතයන් ලෙස ඇමෙරිකාවේ හිටපු ජනපතිවරුවන් වන ජිමී කාටර්, ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් සහ බිල් ක්ලින්ටන් ඔවුන්ගේ බිරියන් සමඟ පැමිණ සිටියහ. 

හිටපු ජනපති බිල් කිල්නටන්ගේ බිරිය හිලරි ක්ලින්ටන් වෙනුවෙන් ට්‍රම්ප් විශේෂ ආරාධනාවක් යවා තිබුණු බව ද වාර්තා විය. පසුගිය වසරේ නොවැම්බර් 8 වැනිදා පැවැති ඇමෙරිකන් ජනපතිවරණයේදී ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා වූයේ හිලරි ක්ලින්ටන්ය.

එම ජනපතිවරණයෙන් ලැබූ පරාජයෙන් පසු, හිලරි ක්ලින්ටන් සහ ට්‍රම්ප් එකම වේදිකාවක දකින්න ලැබුණු පළමු අවස්ථාව මෙය විය.

(ඒ.එෆ්.පී./රොයිටර්)


RECOMMEND POSTS