ට්‍රම්ප් ඩොලර් බිලියන 2.5 ක් ඉල්ලයි



චීනයෙන් ආරම්භ වී, ලොව පුරා ව්‍යාප්ත වන ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය මැඬලීමට ඇමෙරිකන් ඩොලර් බිලියන 2.5 ක මුදලක් වෙන් කර දෙන්නැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කොංග්‍රස් මණ්ඩලයෙන් ඉල්ලා ඇතැයි ධවල මන්දිරය පැවැසීය.

ට්‍රම්ප් ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලයට (පාර්ලිමේන්තුවට) පැහැදිලි කර ඇත්තේ, වයිරසය මර්දනයට නව එන්නතක් නිර්මාණය කිරීම සඳහා ඇමෙරිකන් ඩොලර් බිලියනයක මුදලක් වැය වනු ඇති බවය. ඉතිරි ඩොලර් බිලියනය අවශ්‍ය වන්නේ වයිරසය ඇමෙරිකාවේ පැතිරීම වැළැක්වීමට යැයි ද ජනපති ට්‍රම්ප් පැහැදිලි කර තිබේ.

චීනයෙන් ආරම්භ වුණු වයිරසය මේ වනවිට රටවල් 29 ක් පුරා පැතිර ගොස් ඇත. චීනයෙන් පිට වයිරසය දරුණු ලෙස පැතිර යමින් ඇත්තේ දකුණු කොරියාවෙන්, ඉරානයෙන් සහ ඉතාලියෙන් යැයි ද පැවැසෙයි. ඇමෙරිකාවෙන් පමණක් කොරෝනා ආසාදිතයන් 14 දෙනකු හමුවී ඇති බව ඇමෙරිකන් සෞඛ්‍ය බලධාරීහු පවසති.

නවදිල්ලියේදීය (රොයිටර්)


RECOMMEND POSTS