ට්‍රම්ප් එද්දී මුඩුක්කු නිවාස තාප්පවලින් හංගයි



ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයේ අහ්මදාබාද් අගනුවරට පැමිණෙන, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පිළිගැනීමට ඉන්දීය රජය සූදානම් බවත්, ට්‍රම්ප්ට නොපෙනන ලෙස අහ්මදාබාද් මුඩුක්කු නිවාස තාප්පවලින් වසා දැමීමට අහ්මදාබාද් නගර බලධාරීන් පියවර ගෙන ඇති බවත් ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

මුඩුක්කු නිවාස සංකීර්ණ ප්‍රධාන මාර්ගවලට නොපෙනන ආකාරයට මෙසේ තාප්ප ඉදි කෙරෙන බව මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පෙන්වා දී ඇත. කෙසේ නමුත් ගුජරාට ප්‍රාන්ත රජය මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව ද පැවැසෙයි.

ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් ට්‍රම්ප් ඉන්දියාවේ සංචාරයට පැමිණෙන්නේ 24 සහ 25 දෙදිනය. ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිගේ ඇරැයුමකට අනුවය. මුඩුක්කු නිවාස ඉදිරිපිට තාප්ප ඉදිකිරීමේ කොන්ත්‍රාත් බාර දුන් පෙදරේරුවන්ට අහ්මදාබාද් නගර බලධාරීන් උපදෙස් දී ඇත්තේ 23 වැනිදාට පෙර තාප්ප සියල්ල ඉදි කර අවසන් කළ යුතු බවය. එහෙයින් එම පෙදරේරුවන් දිවා රෑ නොබලා තාප්ප ඉදි කිරීමේ නියැලෙන බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.

ජනපති ට්‍රම්ප් සමඟ තමන් ද ඉන්දීය සංචාරයට යෑමට සූදානම් බවත්, ඉන්දියාවට යෑමට අවස්ථාව උදාවීම සම්බන්ධයෙන් තමන් අතිශය සතුටට පත් වී සිටින බවත් ජනපති ආර්යාව මෙලානියා පවසා ඇත. ඇමෙරිකන් ජනපති ආර්යාව මෙසේ ප්‍රකාශ කළේ, එලැබෙන එම ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇගෙන් අදහස් විමසූ අවස්ථාවේදීය. ඉන්දීය සංචාරයක් සඳහා ජනපති ට්‍රම්ප්ට සහ තමන්ට ඇරැයුම් කිරීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ස්තුති කිරීමට ද මෙලිනියා එම අවස්ථාවේදී අමතක නොකළාය.

ඉන්දියාවට පැමිණෙන ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහත් හරසරින් පිළිගැනීමට තමන් සූදානමින් සිටින බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසා තිබේ.
ජනපති ට්‍රම්ප් ඉන්දියාවට පැමිණෙනු ඇත්තේ ලබන 24 වැනිදාය. ඒ දෙදින නිල සංචාරයක් සඳහාය. තම ඇරුයුම පිළිගනිමින්, ඇමෙරිකන් ජනාධිපතිවරයා ඉන්දියාවට පැමිණීමට කැමැත්ත පළ කිරීම සම්බන්ධයෙන් ඉන්දීය අගමැති මෝදි ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට ස්තුති කර ඇතැයි වොර්තා වේ. ඇමෙරිකන් ජනාධිපති ලෙස ට්‍රම්ප්, ඉන්දියාවට පැමිණෙන්නේ පළමු වරටය. අගමැති මෝදි, ඇමෙරිකාවට ගොස් ජනපති ට්‍රම්ප් අවස්ථා කීපයකදී හමුවී ඇත. ඒ සෑම අවස්ථාවකම ඉන්දීය අගමැති මෝදි උණුසුම් ලෙස පිළිගැනීමට ට්‍රම්ප් කටයුතු කළේය.

මෝදි සහ ට්‍රම්ප් අතරේ සමීප මිතුදම් පවතී. එම මිතුදම් ශක්තිමත් කර ගැනීමටත්, ඉන්දු ඇමෙරිකා සබඳතා තර කර ගැනීමටත් මෙම සංචාරය ඉවහල් වනු ඇතැයි ජගත් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත්තේ ඉන්දියාව සමඟ නව වෙළෙඳ  ගිවිසුම් කීපයකට අත්සන් තැබීමට තමන් බලාපොරොත්තු වන බවය. අගමැති මෝදි සහ ජනාධිපති ට්‍රම්ප් අතර ද්වී පාර්ශ්වීක සාකච්ඡා පැවැත්වෙන්නේ නවදිල්ලි අගනුවරදීය. ඊට අමතරව ජනපති ට්‍රම්ප්, ගුජරාඨයේ අහ්මදාබාද් නුවරට යෑමට නියමිතය. ඒ, අගමැති මෝදි සමඟය. මෝදිගේ උපන් ගම් පළාත ලෙස සැලකෙන්නේ ද ගුජරාටයයි.

අහ්මදාබාද්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS