ට්විටර් ගිණුමෙන් ඉවත් කලා යැයි ට්‍රම්ප්ට නඩු



ගතව ගිය තිස් වසර ඇතුළත ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 4000 කට වැඩි නඩු ප්‍රමාණයකට සම්බන්ධ වී තිබෙන බව ඇමෙරිකා එක්සත් ජනපද මාධ්‍ය වාර්තාවල දැක්වේ.

ජනපති පදවියට තේරී පත්වූ ධන කුවේර ව්‍යාපාරිකයාට එරෙහිව දැන් අලුත්ම නඩුවක් පවරා තිබේ. තමන් ඔහුගේ ට්විටර් ජාලයෙන් ඉවත්කිරීමට එරෙහිව එම නඩුව පවරා තිබෙන්නේ ට්විටර් භාවිත කරන්නන් හත් දෙනෙකු විසිනි.

සිය සගයන්ට ප්‍රසංශා කිරීම සඳහා මෙන්ම විරුද්ධවාදීන්ට දැඩි විවේචනයට ලක් කිරීම පිණිසත් ට්විටර් ජාලය භාවිත කරන ජනාධිපති ට්‍රම්ප්, දැඩි ට්විටර් ලෝලියෙකිමේ තත්වය යටතේ ඔහුගේ ට්විටර් සම්බන්ධතාව තමන්ට අවහිර කිරීමට එරෙහිව අලුත්ම නඩුව පවරා තිබෙන්නේ භාෂණයේ නිදහස වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමක් වන, කොළොම්බියා විශ්වවිද්‍යාලයේ නයිට් ෆස්ට් ඇමෙන්ඩ්මන්ට් ආයතනය (Knight First Amendment Institute) විසිනි.

ජනපතිවරයාගේ ට්විටර් පණිවුඩ හාස්‍යයට ලක්කරමින් හෝ විවේචනය කරමින් එයට ප්‍රතිචාරය දැක්වීමෙන් අනතුරුව ජනපතිවරයා හෝ ඔහුගේ ආධාරකරුවන් ඔහු සමග ට්විටර් සම්බන්ධතාව අවහිර (block) කර තිබෙන බව පැමිණිලිකරුවෝ පවසති

එහි ප්‍රතිඵලයක් ලෙසින් ඔවුන්ට ජනාධිපතිවරයාගේ ට්විටර් පණිවුඩ දැකගැනීමට හෝ එම පණිවුඩවලට ප්‍රතිචාර දැක්විය නොහැකිය. එය ප්‍රසිද්ධ අදහස් හුවමාරුවකදී "විරුද්ධ මත මර්දනය කිරීමේ" උත්සාහයක් බව පවසන පැමිණිලිකරුවෝ, එමගින් ජනාධිපතිවරයා සිය භාෂණයේ නිදහස උල්ලංඝනය කර ඇති බවත් සඳහන් කරති.

ධවල මන්දිරයේ මාධ්‍ය ප්‍රකාශක ෂෝන් ස්පයිසර් (Sean Spicer) සහ සමාජ මාධ්‍ය ජාල සම්බන්ධ ජනාධිපති අධ්‍යක්ෂ ඩැනියෙල් ස්කවිනෝ (Daniel Scavino) ද එම පෙත්සමේ විත්තිකරුවන් ලෙස නම් කර තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් පණිවුඩ "එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ නිල නිවේදන," ලෙසින් සැලකෙන බව ෂෝන් ස්පයිසර් පසුගිය මාසයේ සඳහන් කළේය. ට්‍රම්ප්ගේ @realDonaldTrump ට්විටර් ලිපිනය පරිශීලනය කරන්නන් මිලියන 33.7 ක් සිටින අතර ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ නිල ට්විටර් ලිපිනය වන @POTUS පරිශීලනය කරන්නේ මිලියන 19.3 ක් පමණි.

( තිළිණි ද සිල්වා )

බී.බී.සී ඇසුරනි.


RECOMMEND POSTS