ටජ් මහල අනතුරේ



යුනෙස්කෝ ලෝක උරුමයක් මෙන්ම නූතන ලෝක පුදුමයක් ලෙස ද සැළකෙන ටජ් මහලේ පැහැය වෙනස් වෙමින් පවතින බව පෙන්වා දෙමින්, එය වැළැක්වීමට කඩිනම් පියවර ගන්නැයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඉන්දීය රජයට නියෝග කර ඇත.

ඉන්දීය විශේෂඥයන්ට ටජ් මහල ආරක්ෂා කර ගැනීමට නොහැකි නම්, විදෙස් විශේෂඥයන් ගෙන්වා හෝ එය ආරක්ෂා කිරීමට පියවර ගන්නැයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

පරිසර දූෂණය ඇතුළු කරුණු රැසක් මුල්කොට ගනිමින්, ටජ් මහල දිනෙන් දින අවපැහැ ගැන්වෙමින් පවතින බවත්, කඩිනමින් පිළියම් නොකළහොත් ටජ් මහල විනාශ වනු ඇති බවත් ඉන්දීය පරිසරවේදීහු අවස්ථා ගණනාවකදී ඉන්දීය මාධ්‍යම රජයට පමණක් නොව, ටජ් මහල පිහිටි අග්‍රා අයත් වන නවදිල්ලි බලධාරීන්ට දැනුම් දී ඇත. කෙසේ නමුත් එයින් පලක් වී නැති බව පැවැසෙයි.

පරිසරවේදීන් ඒ අනුව, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට මේ බව දන්වා ඇත්තේ අවපැහැ ගැන්වී ඇති ටජ් මහලේ ඡායාරූප ද ඉදිරිපත් කරමිණි. ඒ ගැන සැළකිල්ලට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉන්දීය රජයට නියෝග කළේ ටජ් මහලේ ආරක්ෂාව වෙනුවෙන් කඩිනමින් පියවර ගන්නා ලෙසටය.

‘ටජ් මහල ලෝක උරුමයක්. ඒ වගේමයි ඉන්දියාවේ අභිමානය. ටජ් මහලේ ආරක්ෂාව වෙනුවෙන් දේශීය විශේෂඥයන් මැදිහත් වෙලා කටයුතු කරනවා වෙන්න පුළුවන්. ඒත් එය ප්‍රමාණවත් නැහැ. විදෙස්  විශේෂඥයන්ගේ සහාය වහාම ලබා ගෙන ටජ් මහල ආරක්ෂා කළ යුතුයි’ යැයි ශ්‍රේෂ්ඨාධිකරණය ඉන්දීය මධ්‍යම රජයට පැවැසීය.

ටජ් මහල යනු 17 වැනි සියවසේ ඉදි කළ සොහොන් ගැබකි. ටජ් මහල ඉදිකිරීමට වැඩි වශයෙන් යොදා ගෙන ඇත්තේ කිරිගරුඩය. ටජ් මහල සුදු පැහැයෙන් යුක්ත වන අතර, මේ වනවිට එය කහ, දුඹුරු සහ කොළ පැහැය ගැන්වී ඇතැයි පරිසරවේදීහු පෙන්වා දෙති.

ටජ් මහල පිහිටා ඇත්තේ යමුනා නදිය අසබඩය. යමුනා නදිය අපවිත්‍රවී, මහා පරිමාණයේ පරිසර දූෂණයක් සිදුවෙමින් පවතී. අපවිත්‍ර වූ නදිය කේන්ද්‍රකොට ගනිමින්, කෘමි සතුන් බෝ වී ඇති අතර උන් ටජ් මහලේ බිත්තිවල වැසීම හේතුවෙන් ද ටජ් මහල අව පැහැ ගැන්වෙන බව පරිසරවේදීහු වැඩි දුරටත් පැහැදිලි කරති. පරිසරවේදීන් මැදිහත් වී යමුනා නදිය සුද්ද පවිත්‍ර කිරීමේ කටයුතු සිදු කරන නමුත් ටජ් මහලේ ආරක්ෂාවට එය ප්‍රමාණවත් නොවන බව ද පැවැසෙයි.

අග්‍රා නගරයේ ටජ් මහල ස්මාරකය නිර්මාණය කරනු ලැබුවේ මෞගල් අධිරාජ්‍ය ෂා ජහාන් විසිනි. ඒ, ඔහු බෙහෙවින් ආලය කළ මියගිය බිරිය මුම්ටාස් මහල්ගේ සොහොන් ගැබ ලෙසිනි. මෙය ලොව ප්‍රධාන සංචාරක ආකර්ෂණයයි. දිනකට ටජ් මහල නැරැඹීමට පැමිණෙන සංචාරකයන්ගේ ගණන 70,000 කි.

ෂා ජහාන් මුස්ලිම් අධිරාජ්‍යයෙකි. මුස්ලිම් අධිරාජ්‍යයකු විසින් ඉදිකරනු ලැබ ඇති සොහොන් ගැබක් බව පෙන්වා දෙමින්, ඉන්දියාවේ හින්දු බහුතරය ටජ් මහල ගැන තැකීමක් නොකරන බව පැවැසෙයි. ටජ් මහල විනාශ වීමට තවත් හේතුවක් වී ඇත්තේ, හින්දු බලධාරීන් ටජ් මහල ගැන අඩු අවදානයක් යොමු කිරීම යැයි ද ඉන්දීය පරිසරවේදීහු පෙන්වා දෙති.

(එන්.ඩී.ටීවී)


RECOMMEND POSTS