ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ පවුලට වන්දි මුදලක්



ඇමෙරිකා එක්සත් ජනපද පොලිසියේ සුදු ජාතික නිලධාරීන්ගේ වදහිංසාවලට ලක්වීමෙන් මරණයට පත් වූ කළු ජාතිකයකු වන ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ පවුලට ඇමෙරිකානු ඩොලර් මිලියන 27ක වන්දි මුදලක් ගෙවීමට මිනියැපොලිස් නගර පාලනාධිකාරිය එකඟතාව පළ කර ඇත.

ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ පවුල පවරන ලද නඩුව  සමථයකට පත් කරගැනීම සඳහා නගර පාලනාධිකාරිය මෙම මුදල ගෙවීමට එකඟතාව පළ කර තිබේ.

පොලිස් භාරයේ සිටියදී සුදු ජාතික පොලිස් නිලධාරීන්ගේ අඩතේට්ටම්වලට ලක්වීමෙන් ජෝර්ජ් ෆ්ලොයිඩ් මරණයට පත්විය. හෙතෙම ඒ වනවිට 46 වැනි වියේ පසුවිය. සුදු ජාතික පොලිස් නිලධාරියකු වන ඩෙරෙක් චවීන් , ජෝර්ජ් ෆ්ලොයිඩ් බිම දිගා කර ඔහුගේ බෙල්ල මත සිය දණහිස තබා සිර කරගෙන සිටියේ ය. විනාඩි නවයකට ආසන්න කාලයක් පොලිස් නිලධාරියා එලෙස දණහිසා තබාගෙන සිටි අතර ජෝර්ජ් ෆ්ලොයිඩ් මරණයට පත්වූයේ හුස්ම ගැනීමට නොහැකි වීමෙන් යැයි පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය විය.

ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයත් සමඟ පොලිසියේ අඩතේට්ටම් සහ වාර්ගික අසාධාරණය හා අයුක්තියට එරෙහිව ඇමෙරිකාවේ පුරා විරෝධතා ඇති විය.

නඩු විභාගයකට පෙර නඩුව සමථයකට පත් කරගැනීම සඳහා ගෙවන ලද විශාලතම වන්දි මුදල මෙය යැයි මේ සම්බන්ධයෙන් අදහසක් දක්වමින් ෆ්ලොයිඩ්ගේ පවුල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ බෙන්ජමින් ක්‍රම්ප් පැවැසීය.

මෙම සිදුවීමත් සමඟ පොලිස් භාරයේ දී සිදු වූ කළු ජාතිකයකු මරණය අමතක වීම සහ වැදගත් නැතැයි සැලකීම මෙමඟින් අහෝසි වී යන බවත් ඔහුගේ මරණයට සාධාරණයක් ඉටු වී යන බවත් අනාගතයේ දී මෙවැනි සිදුවීමක් වුවහොත් අනිවාර්යයෙන්ම ඊට ප්‍රතිවිපාක ලැබෙන බව මෙමඟින් තහවුරු වන බවත් හෙතෙම කීය.

නඩුව සමථයකට පත් කිරීමෙන් පසු පැවැති නඩු විභාගයට එක්වෙමින් ඔහු එම කරුණු සඳහන් කළේය. එම අවස්ථාවට ෆ්ලොයිඩ්ගේ ඥාතීන්, මිනියැපොලිස් නගරාධිපති ජාකෝබ් ෆ්‍රේ  සහ නගර නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

(රොයිටර්)


RECOMMEND POSTS