ජර්මන් පාපන්දු කණ්ඩායමකට එල්ල වුණේ ත්‍රස්ත ප්‍රහාරයක්



ජර්මනියේ ඩෝර්ට්මුන්ඞ් නමැති අන්තර් සමාජ පා පන්දු කණ්ඩායමට එල්ල වුණු බෝම්බ ප්‍රහාරය ත්‍රස්ත ප්‍රහාරයක් බවත්, එය ඉස්ලාමීය අන්තවාදීන්ගේ ක්‍රියාවක් ලෙස සැක කරන බවත් පරීක්ෂණ පවත්වන පොලිසිය කියයි.

බෝම්බ පුපුරා ගියේ පා පන්දු කණ්ඩායම ගමන් කරමින් සිටි සැප බසය ඉලක්ක කර ගනිමිනි. ප්‍රහාරවලින් බසයට හානි වූ අතර එක් ක්‍රීඩකයෙක් තුවාල ලැබුවේය. ඔහු කඩිනමින් රෝහල් ගත කෙරුණි.

තුවාල ලැබුවේ 26 හැවිරිදි මාර්ක් බාර්තා නමැති ක්‍රීඩකයාය. බාර්තාගේ දකුණු වැලමිට තුවාල වුණු බවත් ඔහු සැත්කමකට භාජන කළ බවත් පසුව වාර්තා විය.

ඩෝර්ට්මුන්ඞ් පා පන්දු කණ්ඩායම ජර්මනියේ ප්‍රධාන පෙළේ පා පන්දු කණ්ඩායමකි. මොවුන් නැවැතී සිටි හෝටල කාමරයේ ද පුපුරන ද්‍රව්‍ය අටවා තිබුණි. පුපුරා යෑමට පෙර ඒවා පොලිසිය විසින් පසුව සොයා ගනු ලැබුණි.

ප්‍රහාරයට ලක් වෙද්දී පා පන්දු කණ්ඩායම මොනාකෝ රාජ්‍ය බලා යෑමට සූදානමින් සිට ඇතැයි ද වාර්තා වේ. මේ වනවිට පා පන්දු කණ්ඩායමට විශේෂ පොලිස් ආරක්ෂාවක් ද ලැබෙන බව ජර්මන් පුවත් සේවා වැඩි දුරටත් වාර්තා කර තිබේ.

තුවාල ලැබූ ක්‍රීඩකයා මාර්ක් බාර්තා

(රෙයිටර්)


RECOMMEND POSTS