ජයලලිතාගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනියන්න ශෂිකලා පොරොන්දු වෙයි



තමිල්නාඩු මහ ඇමැති ධුරයට පත්වීමට නියමිත ශෂිකලා නට්රාජන් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ තමා කිසිම අවස්ථාවක තම සමීපතම හිතවතිය ද වූ අභාවප්‍රාප්ත මහ ඇමැතිනී ජයලලිතා ජයරාම්ගේ ප්‍රතිපත්තිවලට පිටින් නොයන බවය.

61 හැවිරිදි ශෂිකලා නට්රාජන් හෙවත් ‘චින්නම්මා’ (පුංචි අම්මා) ලබන 9 වැනිදාට පෙර දිවුරුම් දෙනු ඇතැයි පාලක ‘අන්නා ද්‍රවිඩ මුනේත්‍ර කසාගම්’ පක්ෂය නිවේදනය කර ඇත. ජයලලිතාගේ අභාවයෙන් පසු, තමිලානාඩුවේ මහ ඇමැති ධුරයට පත් වූයේ ඇගේ සමීපතම හිතවතා ඕ පනීර්සෙල්වම්ය. කෙසේ නමුත් ජයලලිතාගේ අභාවයෙන් පසු ඇගේ දේශපාලන ‘දැක්ම’ ඉදිරියට ගෙන යෑමට පනීර්සෙල්වම්ට හැකියාවක් නොලැබිණි.

ජයලලිතාගේ දේශපාලන ‘දැක්ම’ හොඳින් දන්නා ඇගේ සමීපතම සහායිකාව ශෂිකලා තමිල්නාඩුවේ මහ ඇමැති ධුරයට පත් කළ යුතු යැයි ‘අන්නා ද්‍රවිඩ මුනේත්‍ර කසාගම්’ පක්ෂය ආභ්‍යන්තරයෙන් හඬක් නැගුණි. ඒ අනුව, ශෂිකලාට ඉඩ දෙමින්, ඕ පනීර්සෙල්වම් පෙරේදා (5) මහ ඇමැති ධුරයෙන් ඉල්ලා අස්විය. ඒ, චෙන්නායි නුවර පැවැති පක්ෂ මහ සමුළුවේදීය. ජයලලිතා චෙන්නායි නුවර ඇපලෝ රෝහලේ අවසන් සුසුම් හෙළද්දී ඇය අසල ඇයට උපස්ථාන කරමින් සිටියේ ද ශෂිකලාය.

ශෂිකලා නටරාජන් තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිනිය වශයෙන් පත් කිරීමට පක්ෂ සාමාජිකයන් ඒකමතිකව කටයුතු කරනු ඇති අතර තමා තම ඉල්ලා අස්වීමේ ලිපිය කඩිනමින් ආණ්ඩුකාරවරයාට බාරදෙන බව ද පන්නීර්සෙල්වම් නිවේදනය කර ඇත.

ජයලලිතාගේ අභාවයෙන් පසු ඉකුත් දෙසැම්බරයේ සිට ඕල් ඉන්දියා අන්නා ද්‍රවිඩ මුනේත්‍ර කසාගම් පක්ෂයේ ශෂිකලා පක්ෂ මහ ලේකම්වරිය වශයෙන් ද කටයුතු කළාය.

‘පුංචි අම්මා තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමතිනිය වශයෙන් තෝරාගත්තා’ යැයි පාලක ඒ.අයි.ඒ.ඩී.එම්.කේ පක්ෂය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි. ‘අපගේ ගෞරවනීය අම්මාගේ අභාවයෙන් පසු මට මහ ඇමැතිධුරය බාරගන්නැයි ඕ.පන්නීර්සෙල්වම් යෝජනා කළා’ යැයි ශෂිකලා නටරාජන් උපුටා දක්වමින් එම පක්ෂයේ තවත් නිල ට්විටර් ගිණුම තවත් ට්විටර් පණිවිඩයක් යොමු කරමින් සඳහන් කර තිබුණි. 

 

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS