ජයලලිතාගේ දුවක් යැයි කියයි



අභාවප්‍රාප්ත තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම් තම මව බව පවසමින්, ඒ බව තහවුරු කිරීමට ඩී.එන්.ඒ. වෛද්‍ය පරීක්ෂණවක් පවත්වන මෙන් ඉල්ලා බෙංගලූර් නුවර අම්රුතා නමැති කාන්තාව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් නිකුත් කර ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් සේවය වාර්තා කරයි.

මෙම කාන්තාව ජයලලිතා ජීවතුන් අතර සිටිද්දී, ඇය හමුවීමට අවස්ථා ගණනාවදී උත්සහ දරා ඇති නමුත් ජයලලිතාගේ සමීපතම හිතවාදිය මෙන්ම සහායිකාව වන වී. ශෂිකලාගෙන් ඊට බාධා එල්ල වී ඇත.

ජයලලිතාගේ අභාවයෙන් පසු ඇගේ අන්නා ද්‍රවිඩ මුනේත්‍ර කලහම් පක්ෂයට නායකත්වය දෙමින් තමිල්නාඩුවේ මහ ඇමැතිනිය වීමට ශෂිකලා උත්සාහ කළාය. කෙසේ නමුත් එල්ල වී තිබුණු දූෂණ වංචා චෝදනා සහ මූල්‍ය අකටයුතුකම් හේතුවෙන් ශෂිකලා මේ වන විට සිර දඬුවම් විඳිමින් සිටී.

අම්රුතා නමැති කාන්තාව පවසන පරිදි ඇයගේ පියා දෙමළ නළු ශෝබාන් බුබුය. ජයලලිතාගේ දෙමාපියන් මියගිය අවස්ථාවේදී ශෝබාන් බුබු ඇයට සමීප වී ඇත. දෙදෙනා අතර ආදරයක් හටගෙන ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ජයලලිතා ගැබිනියක වුණැයි අම්රුතා නමැතිත්තිය පවසා ඇත.

ඩී.එන්.ඒ. පරීක්ෂණයක් අවශ්‍ය බව පෙන්වා දෙමින් අම්රුතා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට පවා ලිපියක් යවා ඇති බව ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

(ටයිම්ස් ඔෆ් ඉන්දියා ඇසුරිනි)

 


RECOMMEND POSTS