ජනපති ජින්පින් රෝගීන් බලන්න යයි



චීන ජනාධිපති ෂී ජින්පින් බීජීං අගනුවර රෝහල්වල නිරීක්ෂණ චාරිකාවක නියැලුණේය. ඒ, වෛද්‍යවරුන් සහ වෛද්‍ය කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් හමුවෙමිනි.

නව කොරෝනා වයිරසය මර්දනය කිරීමට චීන රජයට හැකියාව ඇතැයි චීන ජනාධිපති ෂී ජින් එම අවස්ථාවේදී පෙන්වා දුන්නේය. වයිරසය පැතිරීම ආරම්භ වීමෙන් පසු චීන ජනාධිපති ජින්පින් එරට රෝහල්වල නිරීක්ෂණ චාරිකාවක යෙදුණු පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි.

හුබෙයි පළාතේ වූහාන් නුවරින් වයිරසය පැතිරීම ආරම්භ වෙද්දී, වයිරසය මර්දනයට නිසි ක්‍රියා මාර්ග නොගත් හුබෙයි පළාතේ ඉහළ පෙළේ සෞඛ්‍ය බලධාරීන් රැසක් ඔවුන්ගේ තනතුරුවලින් නෙරපා දැමීමට චීන රජය පියවර ගෙන ඇතැයි ද පැවැසෙයි.

නව කොරෝනා වයිරසය, මේ වනවිට චීනයෙන් පිට රටවල් 25 කට වැඩි ප්‍රමාණයක් පුරා පැතිර ගොස් අවසන්ය. චීනයෙන් පිට මරණ වාර්තා වී ඇත්තේ හොංකොං සහ පිලිපීනයෙනි.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායමක් මේ වනවිට චීනයට පැමිණ සිටී. මෙම කණ්ඩායම චීනයට පැමිණ සිටින්නේ, නව කොරෝනා වයිරසය චීනයට බලපා ඇති ආකාරය සම්බන්ධයෙන් නිවැරදි දත්ත එක් රැස් කිරීමට යැයි පැවැසෙයි.

චීන රජය වයිරසය සම්බන්ධයෙන් නිවැරදි දත්ත ලොවට වසං කරනවා යැයි චෝදනා එල්ල වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙම විශේෂඥ කණ්ඩායමට නායකත්වය දෙන්නේ බෲස් අයිල්වාද් ය. 2014 සිට 2016 තෙක් කාලයේ බටහිර අප්‍රිකාවේ ඉබෝලා වසංගතය පැතිරෙද්දී ලෝක සෞඛ්‍ය සංවිධානය නියෝජනය කරමින් විශේෂ කණ්ඩායමක් රැගෙන බටහිර අප්‍රිකා රටවලට ගියේ ද බෲස් අයිල්වාද් ය.

වූහාන්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS