චීනයෙන් සමාජ ජාලවල හැසිරීමට ලකුණු



'සමාජ මාධ්‍ය ජාල හැසිරීමට ලකුණු ලබා දීමේ පද්ධතියක්' සකසමින් සිටින චීනය වසර 2020 වන විට එය ක්‍රියාත්මක වනු ඇති බව පවසයි.

බටහිර ලෝකයේ පුවත් වෙබ් අඩවි, ගූගල්, ෆේස්බුක්, යූ ටියුබ් සහ ට්විටර් ඇතුළු සමාජ ජාල රැසක් දැනටත් චීනය තුළ අවහිර කර ඇත.

"Great Firewall" (ග්‍රේට් ෆයර් වෝල්) නම් මෘදුකාංගය හරහා මෙම වෙබ් අඩවි අවහිර කිරීම සිදු වේ. නමුත් බිලියන 1.4 කට ආසන්න ජනගහනයක් ඇති චීනයේ WeChat (වි චැට්) සහ QQ සමාජ ජාල විශාල වශයෙන් භාවිතය කරන අතර, එම පරිශීලකයන් වෙන වෙනම නිරීක්ෂණය කර ඔවුන්ගේ හැසිරීමට ලකුණු ලබා දෙනු ඇත.

කෙටි පණිවිඩ ඔස්සේ සංවාදයේ යෙදිය හැකි (චැට් රූම්) වෙබ් අඩවි සියල්ල ප්‍රථමයෙන් එහි පරිශීලකයන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගත යුතුය. ඉන්පසු එක් එක් පුද්ගලයාගේ සංවාද ඉතිහාසය සය මසක් සුරක්ෂිතව තබා ගත යුතු අතර ඔවුන්ගේ හැසිරීම අනුව ශ්‍රේණිගත කළ යුතුය. මෙසේ ලබා ගන්නා දත්ත සියල්ල රාජ්‍ය ආයතනක් විසින් සකසන ලද ලකුණු ලබා දීමේ පද්ධතියට ඇතුළත් කරනු ලැබේ.

"WeChat පරිශීලකයන් ගණන බිලියනයක්. මේ ආකාරයට එහි තිබෙන දත්ත ලබා ගත් පසු රජයට පුළුවන් මිනිස්සු මොනවද සිතන්නෙ, මොනවද කරන්නෙ කියල බලාගන්න. එය ඔවුන්ට තිබෙන සිහිනයක්" යනුවෙන් තාක්ෂණ විශේෂඥ ජේම්ස් ගෝට්‍රෙයි පැවසුවේය.

චීනයේ බොහෝ මිනිසුන් සහ ආයතන අන්තර්ජාලය පාලනය කරන සංවේදී මෘදුකාංග මඟ හැරීමට පෙලැඹී ඇත. VPN සහ Proxy සේවාවන් ඔස්සේ අන්තර්ජාලයට පිවිසීමෙන් පෞද්ගලික දත්ත සහ ඔවුන්ගේ හැසිරීම රාජ්‍ය ආයතන අතට පත් වීම වැළකෙන බව ඔවුන්ගේ විශ්වාසයයි.

නීත්‍යානුකූල නොවන සියලු VPN සේවාවන් අවහිර කරන ලෙස අන්තර්ජාල පහසුකම් ලබා දෙන ප්‍රධාන ආයතන තුනට චීන රජය පසුගිය වසරේ දී අණ කර ඇත. 'අලිබබා' වාණිජ වෙබ් අඩවිය ඇතුළු සියලු වෙබ් අඩවි හිමිකරුවන්ගෙන් ද රජය මෙම ඉල්ලීම කර ඇත

විදේශීය ගැනුම්කරුවන් සමඟ සම්බන්ධ වීමට සහ අන්තර්ජාලයට පිවිසීමට VPN භාවිතා කරන ව්‍යාපාරවලට ද අනතුරු ඇඟවීම් සිදු කිරීමට එරට රජය ක්‍රියා කර ඇත.

( තිළිණී ද සිල්වා )

බී.බී.සී ඇසුරෙනි.


RECOMMEND POSTS