චීනයෙන් ඇමෙරිකාවට චෝදනා



ඇමෙරිකා එක්සත් ජනපදය මාරාන්තික කොරෝනා වයිරසය සම්බන්ධයෙන් භීතිය ඇති කරන බවට චීනය චෝදනා කරයි.

චීනයේ වූහාන් නගරයෙන් සිය ජාතිකයන් මෙන්ම තානාපති කාර්යමණ්ඩලවල සාමාජිකයන් මුදාගත් මුල්ම රට වූයේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. ඇමෙරිකාව හුබෙයි පළාතේ කොන්සියුලර් කාර්යාලයේ සේවය කළ රාජ්‍ය තාන්ත්‍රික පිරිසෙන් අඩක් නැවත ඇමෙරිකාවට ගෙන්වා ගත්තේය. චීන ජාතිකයන්ට හෝ අවසන් සති දෙකේ චීනයේ සංචාරය කළ විදේශිකයන්ට සංචාරක තහනමක් පැනවූ පළමු රට වූයේ ද ඇමෙරිකාවයි.

බීජිං නුවර පැවැති මාධ්‍ය හමුවකදී චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශික හුවා චන්යින්ග් මෙම කරුණු සඳහන් කළාය.

“සංචාරක සහ වෙළෙඳ සීමා පැනවීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ද උපදෙස් දී තිබෙනවා” යැයි ඇය කීවාය.

“ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ නොතකමින් සීමා පැනවූ මුල්ම රට ඇමෙරිකාවයි. කොරෝනා වයිරසය සම්බන්ධයෙන් සන්සුන්ව තීන්දු තීරණ ගත යුතුයි. එහෙත් ඇතැම් පාර්ශව විවිධ ප්‍රකාශ කරනවා. එම ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නැහැ. ප්‍රකාශ කළ යුත්තේ විද්‍යාත්මක පදනමක් ඇතුව” යැයි ද පැවැසුවාය.

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් පැතිර යෑම ආරම්භ වූ නව කොරෝනා වයිරසය මේ වනවිට රටවල් 24කට පැතිර ගොස් තිබේ.

වෙනදාට මාධ්‍යවේදීන් කැඳවා මාධ්‍ය හමු පැවැත්වූවද චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකාව මෙවර දෛනික මාධ්‍ය හමුව පැවැත්වූයේ ‘වීචැට්’ පණිවුඩ හුවමාරු මෘදුකාංගය ඔස්සේය.

ඇමෙරිකා එක්සත් ජනපදය මෙතෙක් සැලකිය යුතු උපකාරයක් කර නැතැයි ද ඇය එහිදි චෝදනා කළාය.

කෙසේ නමුත් ඇමෙරිකානු නිලධාරීන් චීනයට ඉතා විශාල සහයෝගයක් දී ඇතැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පසුගිය සති අන්තයේදී පැවැසීය.
කොරෝනා වයිරසය ව්‍යාප්තිය ආරම්භ වූයේ ලොව විශාලතම ආර්ථික දෙකට හිමිකම් කියන ඇමෙරිකාව සහ චීනය සිය ආර්ථික සබඳතා නැවත ඇති කරගත් විගසය. මාස 18කට ආසන්න කාලයක් දෙරට අතර ආර්ථික යුද්ධයක් පැවැතුණි.

අවසන් සති දෙකේදී චීනයේ සංචාරය කළ චීන ජාතිකයන් ඇතුළු විදේශිකයන්ට තාවකාලික සංචාරක තහනම් පැනවීමට සිංගප්පූරුව, ඔස්ටේ්‍රලියාව, නවසීලන්තය සහ වියට්නාමය ඇතුළු කිහිපයක් ද පියවර ගෙන ඇත. රටවල් රැසක් දැනටමත් වූහාන් නගරයෙන් මෙන්ම චීනයේ අනෙකුත් ප්‍රදේශවලින් ද තම වැසියන් මුදාගෙන ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය ජනාවරි 30 වැනිදා හදිසි ගෝලීය තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේය. 

බීජිංහිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS