චීනයට දොස් කියද්දී ට්‍රම්ප්ට ඉංග්‍රීසි වැරැදිලා



 

 

  (රොයිටර්)
චීනයට දොස් නගමින් නිකුත් කළ අන්තර්ජාල ට්විටර් පණිවුඩයක එක් වචනයක අකුරු වැරැදීම හේතුවෙන්, ඇමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා වීමට නියමිත ඩොනල්ඩ් ට්‍රම්ප් පෙරේදා (17) බොහෝ දෙනාගේ උපහාසයට ලක්විය.
ට්‍රම්ප් චීනයට දොස් පැවැරුවේ, ඇමෙරිකානු නාවික හමුදාවට අයත් නියමුවන් රහිත කුඩා ප්‍රමාණයේ ඩ්‍රෝන කුමුඳුවක් (සබ්මැරීනයක්) චීන නාවික හමුදාව විසින් අත්පත් කර ගැනීමේ සිදුවීම සම්බන්ධයෙනි.
එහිදී එම ක්‍රියාව කිසිසේත් අනුමත කළ නොහැකි යැයි කියමින් ට්‍රම්ප් ‘අන්ප්‍රෙසෙඩෙන්ටඞ්’ යන වදන ලියා ඇත්තේ අකුරු වරදවාය. 
මෙය දුටු සැණින් ට්විටර් සාමාජිකයන් බොහෝ දෙනකු ට්‍රම්ප් විවේදනය කරමින් ‘කමෙන්ට්‘ කරන්න වූයේ ‘ඇමෙරිකාවේ අලුත් ජනාධිපතිට හරුහැටි ඉංග්‍රීසිවත් බෑ’ යැයි කියමිනි.. එම ‘කමෙන්ට්’ දැකීමත් සමඟ ට්‍රම්ප් ‘අන්ප්‍රෙසෙඩෙන්ටඩ්’ යන වදන නිවැරදිව ලිවීමට කටයුතු කළේය. 
චීන නාවික හමුදාව අතර පත්වුණු රොබෝ කුමුඳුව, සාගර පතුළ සිතියම්ගත කිරීමට යැවුණු එකක් බව ඇමෙරිකන් නාවික හමුදාව පවසයි. එය චීන නාවික හමුදාව අතට පත්වූයේ දකුණු චීන මුහුදේදීය. කුමුඳුව යළි ඇමෙරිකාවට බාර දීමට කටයුතු කරන බව චීනය පවසා ඇත. ඊට ද ට්‍රම්ප්ගෙන් විරෝධයක් එල්ල වී ඇත. ට්‍රම්ප් පවසා ඇත්තේ කුමුඳුව යළි අවශ්‍ය නැතැයි කියාය.
ට්‍රම්ප් සහ චීනය අතර මතභේද පවතී. ට්‍රම්ප් චෝදනා කර ඇත්තේ ඇමෙරිකානුවන්ගේ රැකියා අවස්ථා උදුරාගෙන ඇත්තේ චීනය කියාය. තමා ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු, චීනය සමඟ පවතින සබඳතා සීමා කිරීමට කටයුතු කරන බවට ද ට්‍රම්ප් තර්ජනය කර ඇත.

RECOMMEND POSTS