ගෞතමාලා ළමා නිවසේ ගින්නට 19 ක් බිලි



ලතින් ඇමෙරිකාවට අයත් ගෞතමාලා රාජ්‍යයේ ළමා නිවාසයක ගින්නක් හටගත් අතර ඊට 19 ක් දෙනෙක් බිලි වූහ.

තුවාල ලබා රෝහල් ගතකළ ගණන 38 කි. මියගිය සහ තුවාල ලැබූ වැඩි දෙනා ළමා නිවසේ සිටි දරුවන් යැයි මාධ්‍ය වාර්තා කරයි.

ඊට අමතරව ළමා නිවසේ පාලකයන් දෙදෙනකු, පාලිකාවක සහ ආරක්ෂක නිලධාරියකු ද තුවාල ලබා රෝහල් ගත කළ බව වාර්තා වේ. අවුරුදු 18 තෙක් වයසේ දරුවන් 540 දෙනකු මෙම ළමා නිවාසයේ සිට ඇත.

ගෞතමාලා මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන්දමට මෙම ළමා නිවාසයේ ඉඩ ඇත්තේ දරුවන් 400 දෙනකුට පමණි. මාපිය සෙනෙහස අහිමිවුණු දරු දැරියන් සහ නොයෙක් අපචාරවලට ලක්වුණු දරුදැරියන් පමණක් නොව, පරිවාස බාරයට පත් කළ දරුවන් ද රඳවා තැබෙන්නේ ද මෙම ළමා නිවසේ යැයි පැවැසෙයි.

ළමා නිවසයේ කලහකාරී තත්ත්වයක් හට ගෙන ඇති අතර එහිදී මෙට්ටයකට ගිනි ඇවිලීමෙන් පසු එම ගින්න ළමා නිවාසය පුරා පැතිර ගොස් ඇතැයි පසුව වාර්තා විය.

‘වර්ජන් දෙ ඔසුන්සියෝන්’ නමැනි මෙම ළමා නිවාසය පිහිටා ඇත්තේ ගෞතමාලා සිටී අගනුවර සිට කිලෝ මීටර් 25 ක් පමණ දුරකිනි.

ළමා නිවසේ සිදුවුණු ඛේදවාචනය හේතුවෙන් තෙදින ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ගෞතමාලා රජය තීරණය කර ඇතැයි ද වාර්තා වේ.

බීබීසී ඇසුරිනි


RECOMMEND POSTS