ගෝතමාලා - වෙනිසියුලා සබඳතා අවසන්



ගෝතමාලා නව ජනාධිපති අලෙහෙන්ද්‍රෝ ජියැම්මෙටී, වෙනිසියුලාව සමඟ පවත්වන සියලු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හිටුවීමට තීරණය කර තිබේ.

ගෝතමාලාව මෙන්ම වෙනිසියුලාව ද ලතින් ඇමෙරිකා රටවල්ය.

අලෙහෙන්ද්‍රෝ ජියැම්මෙටී, අසල්වැසි වෙනිසියුලාව සමඟ සබඳතා අත්හැරීමට තීරණය කළේ ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් දින දෙකක් ගත වෙද්දීය.

වෙනිසියුලාවේ කැරැකස් අගනුවර ගෝතමාලා තානාපති නිලධාරියා ඇතුළු සෙසු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ආපසු ගෙන්වා ගන්නා ලෙසත් ඉන්පසු තානාපති කාර්යාලය වසා දැමීමට කටයුතු කරන ලෙසත් නව ජනාධිපති අලෙහෙන්ද්‍රෝ ජියැම්මෙටී, සිය විදේශ අමත්‍යාංශයට දැනුම් දී ඇත.

ගෝතමාලාව, වෙනිසියුලාව සමඟ සබඳතා අත් හැරියේ, වෙනිසියුලාවේ පවතින දේශපාලන අර්බුදය හේතුවෙනි. දේශපාලන අර්බුදය නිර්මාණය වූයේ ජනපති නිකලස් මදුරෝ මුල්කොට ගනිමිනි.

වෙනිසියුලා ජනපති නිකලස් මදුරෝට එරෙහි වෙමින්, එරට විපක්ෂ කණ්ඩායම් එක් වී විපක්ෂ නායක යුවාන් ගුවයිඩෝ අන්තර්වාර ජනපති ලෙස නම් කළේය.

පසුගිය 2019 ජනවාරියේ, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් ද ලතින් ඇමෙරිකා කලාපයේ රටවල් රැසක්ද යුවාන් ගුවයිඩෝට සහාය දක්වමින් වෙනිසියුලාවේ ජනපති ඔහු යැයි පිළිගත්තේය. එම ලතින් ඇමෙරිකා රටවල් අතරේ ගෝතමාලාව ද සිටී.

පසුගිය ඔක්තෝබරයේ, ගෝතමාලා ජනපතිවරණයෙන් ජයගෙන ජනපති ධුරයට තේරී පත් වුණු අලෙහෙන්ද්‍රෝ ජියැම්මෙටී, වෙනිසියුලාවට යෑමට උත්සාහ කළ නමුත්, ඔහුගේ ගුවන් යානය ආපසු හැරවීමට වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ කටයුතු කළේය.

ඒ, අලෙහෙන්ද්‍රෝ ජියැම්මෙටී, ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ රූකඩයක් බවට චෝදනා කරමිණි. අලෙහෙන්ද්‍රෝ ජියැම්මෙටී සහ මදුරෝ අතර ඒ අනුව අර්බුදයක් නිර්මාණය විය.

ගෝතමාලා සිටීහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS