ගුවන්තොටුපොළ ප්‍රමාද කළ බල්ලට වෙඩි



නවසීලන්තයේ වඩාත් කාර්ය බහුල ගුවන්තොටුපොළ ලෙස සැලකෙන ඕක්ලන්ඞ් ගුවන් තොටුපොළේ ගුවන් පථයේ සැරිසරමින්, ගුවන් ගමන් කටයුතුවලට බාධා කළ බල්ලකුට ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් වෙඩි තබා මරා දැමුවේ යැයි බී.බී.සී. ඇතුළු විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

‘ග්‍රිස්’ නමැති බල්ලා ගුවන් තොටුපොළ ආරක්ෂක අංශයට අයත් සුනඛ බලඇණියේ එකෙකි. ඉව අල්ලා මත්ද්‍රව්‍ය සහ පුපුරන ද්‍රන්‍ය සෙවීමට ‘ග්‍රිස්’ පුරුදු පුහුණු කර තිබේ.

කෙසේ නමුත් හිටිහැටියේ සෙසු ආරක්ෂක නිලධාරීන්ගේ කීමට අකීකරු වුණු ‘ග්‍රිස්’ ගුවන් පථයට දිව ගොස් එහි සැරිසරමින් සිට ඇත. ‘ග්‍රිස්’ අල්ලා ගැනීමට උත්සාහ දැරුව ද එය අසාර්ථක වුණැයි පැවැසෙයි.

ඒ අනුව, අවසානයේදී ඌට වෙඩි තැබීමට බලධාරීහු කටයුතු කළහ.‘ග්‍රිස්’ නිසා නවසීලන්තයේ අභ්‍යන්තර ගුවන් ගමන් පමණක් නොව ජාත්‍යන්තර ගුවන් ගමන් ද පැය 16 කට ප්‍රමාද වුණු බව ඕක්ලන්ඞ් ගුවන්තොටුපොළ බලධාරීහු වැඩි දුරටත් කියා සිටිති.

නිර්වින්දනය කර ‘ග්‍රිස්’ අල්ලා නොගැනීම ගැනත්, ‘ග්‍රිස්’ මරා දැමමීට කටයුතු කිරීම ගැනත් ඕක්ලන්ඞ් ගුවන්තොටුපොළ බලධාරීන්ට බොහෝ දෙනාගෙන් දොස් අහන්න සිදුවී ඇතැයි ද වාර්තා වේ.

(රොයිටර්)

 


RECOMMEND POSTS