ගිනිකන්දක් වසර 900 කට පසු පුපුරයි



අයිස්ලන්ත ගිනි කන්දක් (යමහලක්) වසර 900 කට පසු පුපුරා යෑමට පටන්ගෙන ඇතැයි වාර්තා වේ. වසර 900 ක් නිදා සිටි මෙම ගිනි කන්ද පුපුරා ලාවා පිට කිරීම ආරම්භ කළේ පසුගිය 19 වැනිදාය.

පුපුරා යෑමට පටන් ගත් ෆග්රාදාර්ෆියැග් නමැති මෙම යමහල පිහිටා ඇත්තේ එරට රෙයිකවෙක් අගනුවරට කිලෝ මීටර් 40 ක් පමණ දුරිනි. අයිස්ලන්තයේ ගිනි කඳු බහුලය. නිද්‍රා තත්ත්වයේ පසුවන අයිස්ලන්ත යමහල් එරට සංචාරක ආකර්ශණයකි.

ඊයේ (21) වනවිට ගිනි කන්දෙන් ප්‍රබල පිපිරීම් කීපයක් වාර්තා වී ලාවා ගලායෑම් දකින්න ලැබුණි. ඉදිරි දින කිහිපය පුරාවට ගිනි කන්දේ තවත් පිපිරීම් සිදුවනු ඇතැයි අයිස්ලන්ත යමහල් විද්‍යාඥයෝ අනාවැකි පළ කරති. ෆග්රාදාර්ෆියැග් යමහල පිපිරීමෙන් කාටවත් අනතුරක් සිදුනොවනු ඇති බව ද පැවැසෙයි.

තමන් පැය 24 පුරාවට යමහල ගැන සෙවිල්ලෙන් පසුවන බවත්, රෙයිකවෙක් වැසියන් ට තොරතුරු ලබා දීම සිදු කරන බවත් යමහල් විද්‍යාඥයෝ පවසති.

මීට පෙර, 2010 දී, අයිස්ලන්තයේ 'එයිඉෆැක්ලියොක්ලීත්' නමැති යමහල පුපුරා ගියේය. එය බිහිසුණු පිපිරීමක් වුණු අතර දුම් වලා කිලෝ මීටර් දහස් ගණනක් දුරට විසිරී පැතිරී ගියේය. එය යුරෝපයත් උතුරු ඇමෙරිකාවත් අතර ගුවන්ගමන්වලට බාධාවක් විය. ගුවන් ගමන් ලක්ෂයක් අවලංගු කෙරුණු අතර මිලියන ගණනක් ගුවන් තොටුපොළවල සිරවූහ.

රෙයිකවෙක්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS