කොලොම්බියාවේ 254 ක් පණපිටින් වැළලෙති



මහ වැසි හේතුවෙන් ලතින් ඇමෙරිකාවට අයත් කොලොම්බියාවේ සිදුවුණු නායයෑමෙන් 254 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

නායයෑම සිදුවූයේ හිටිහැටියේය. නායයෑමට ලක් වූයේ පුටුමායෝ පළාතේ කඳුකරයේ පිහිටි මකෝවා නගරයේ කොටසකි. නගරයේ නිවාස මඩ තට්ටුවලින් වැසී ගියේ නිවැසියන් පණ පිටින් වළදමමිනි.

නායයෑම හටගත් අවස්ථාවේ පටන් අධික වර්ෂාවෙන් එල්ල වුණු බාධක මැද දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් දිගටම සිදුවිය. බේරා ගත් 400ක් රෝහල් ගත කෙරුණාහ.

මියගිය සහ තුවාල ලැබූ වැඩිදෙනා අතර කාන්තාවන් සහ කුඩා දරුවන් සිටින බව කොලොම්බියානු පුවත් සේවා වාර්තා කර තිබේ.

විපතට පත්වූවන් බේරා ගැනීමට සහන සේවකයන්ට හමුදාවේ සහාය හිමිවිය. බලධාරීන් කියා සිටියේ සොල්දාදුවන් 1,100 ක පිරිසක් විපතට පත්වූවන් සෙවීමට යෙදවූ බවය.

අධික වර්ෂාව හේතුවෙන් පුටුමායෝ පළාතේ ගංගා රැසක් පිටාර ගැලීය. නිවස රැසක් සහ මාර්ග ජලයෙන් යටවිය. දහස් ගණකට විදුලි බලය අහිමි විය.

නායයෑම ගැන සැලවීමත් සමඟ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට කොලොම්බියානු ජනාධිපති යුවාන් මැනුවෙල් සැන්ටෝස් කටයුතු කළේය.

විපතට පත්වූවන් බේරා ගැනීමටත්, සහන සේවා සැපැයීමටත් ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා යොදා ගැනිණි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS