කොරෝනා මැද මහාමාරිය හිස ඔසවලා



‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතය හමුවේ, උතුරු දිග චීනයෙන් සහ ඒ අසල පිහිටි මධ්‍යම මොංගෝලියාවෙන්, මහාමාරිය හිස එසවීමට පටන්ගෙන ඇතැයි චීන සෞඛ්‍ය බලධාරීහු අනතරු අගවති.

මහමාරිය යනු බැක්ටීරිය ආසාදන තත්ත්වයක් වන අතර, නිසි වෛද්‍ය අවධානය යොමු නොවුණොත් එය මාරක විය හැකි යැයි පැවැසෙයි. උතුරු දිග චීනයෙන් සහ මොංගෝලියාවෙන් මේ වනවිට ආසාදිතයන් දෙදෙනකු හමුවී ඇති අතර ඔවුන් නිරෝධායනය කිරීමට චීන සෞඛ්‍ය බලධාරීහු කටයුතු කළහ.

ආසාදිතයන් දෙදෙනා නිරෝධායනයට ලක් කර අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම සිදුවන්නේ, මොංගෝලියාවේ බයනූර් නගරයේ යැයි ද පැවැසෙයි.. මෙම ආසාදිතයන් දෙදෙනා ගොපල්ලන් යැයි සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දී තිබේ.

මීයන් සහ මැක්කන් හරහා බැක්ටීරියාව මනුෂ්‍යයන්ට ආසාදනය වෙයි. තද උණ, වසා ගැටිති ඉදිමීම, හන්දි වේදනාව, සීතල දැනීම සහ හිසරදය මෙම රෝගයේ රෝග ලක්ෂණ යැයි වෛද්‍යවරු පවසති. මහාමාරිය කාණ්ඩ තුනකට වෙන් කෙරෙන අතර නියුමෝනියාව ඇති කරන මහාමාරිය තත්ත්වයක් ද ඇතැයි වෛද්‍යවරැ පැහැදිලි කරති.

චීන සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කර ඇත්තේ මෙම බැක්ටීරියා රෝගී තත්ත්වය ‘කොවිඩ් 19’ නව කොරෝනා වයිරසය මෙන් ගෝලීය වසංගත තත්ත්වයක් වීමට ඉඩ ලබා නොදෙන බවය.

බීජීංහිදීය (රොයිටර්)


RECOMMEND POSTS