කොංගෝ යුද වින්දිතයන්ට මුදලින් වන්දි



කොන්ගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ සිදු කෙරුණ යුද අපරාධවලට ගොදුරුවූවන් වෙනුවෙන් මුදලින් වන්දි ගෙවිය යුතුව ඇතැයි හේග් ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC ) විසින් තීන්දු කරනු ලැබ ඇත.ජාත්‍යන්තර අපරාධ අධිකරණය එවැනි තීන්දුවක් දුන් පළමු අවස්ථාව මෙයයි.

2003 වසරේ බොගොරෝ (Bogoro )නම් ගම්මානයෙන් වාර්තා වූ අපරාධවල ගොදුරු බවට පත් තුන්සීයකට ආසන්න පිරිසක් එම අධිකරණ තීන්දුවත් සමඟ වන්දි ලැබීමට සුදුසුකම් ලබති.

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය තුළ දොළොස් වසරක සිර දඬුවමක් ගෙවමින් සිටින ගර්මේන් කටන්ගා (Germain Katanga ) බොගොරෝ අපරාධවලට වගකිව යුතු යයි කියා සිටි හේග් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන විනිසුරු මාර්ක් පෙරින් (Marc Perrin) , වින්දිතයන් වෙනුවෙන් පිහිටුවන ලබන සාමූහික අරමුදලක් සඳහා ඩොලර් දශ ලක්ෂයක් ගෙවන මෙන් ඔහුට නියෝග කළේය.

බොගොරෝ ගම්වැසියන් ගොදුරු කරගත් ප්‍රහාර සඳහා අණදෙන ලද්දේ සන්නද්ධ කණ්ඩායමක නායකයකු වූ කටන්ගා විසිනි.

තවදුරටත් අදහස් දැක්වූ විනිසුරු මාර්ක් පෙරින්, අපරාධවල ගොදුරු බවට පත් එක් එක් පුද්ගලයා වෙනුවෙන් සංකේතාත්මක මට්ටමින් ඇමෙරිකානු ඩොලර් 250 බැගින් ගෙවන ලෙස නියෝග කළේය.

සිදුකර ඇති යුද අපරාධ සමඟ බලන විට එම මුදල කිසිසේත්ම නොසෑහෙන වන්දියක් බවත් විනිසුරු මාර්ක් පෙරින් පවසයි.

තිළිණි ද සිල්වා
බී.බී.සී. ඇසුරිනි

 


RECOMMEND POSTS