කේප් ටවුන් නගරයට වතුර නෑ



දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නගරයයේ වැසියන් උග්‍ර ජල හිඟයකට මුහුණ පා සිටින බවත්, නගරයේ ජලය ඇත්තේ ලබන අප්‍රේල් මාසය තෙක් පමණක් බවත් නගර බලධාරීහු බිය පළ කරති.

නගරයේ ජලය සියල්ල සිඳී ගියහොත්, ජලය සිඳී යන ලොව පළමු ප්‍රධාන නගරය වනු ඇත්තේ කේප් ටවුන් බව නගර බලධාරීහු පෙන්වා දෙති. කේප් ටවුන් යනු දකුණු අප්‍රිකාවේ වරාය නගරයයි. 2011 වසරේ ලෝක බැංකු වාර්තා අනුව ජනගහනය 4,33,688 කි.

කේප් ටවුන් ජල අර්බුදය දිනෙන් දින උත්සන්න වෙද්දී, නගර වැසියන් බෝතල් සහ බූලිවලට ජලය පුරවා ගැනීමේ අපේක්ෂාවෙන් පෝලිම් ගැසී සිටිනු මඟ දෙපස සුලභ දසුනක් වී ඇත.

කේප් ටවුන් නගරයේ පමණක් නොව, නගරය අයත් වන කේප්ටවුන් පළාතේ ද සියලු ජල පෝෂක මේ වනවිට සිඳී යමින් පවතී. ජගත් පරිසරවේදින් පෙන්වා දී ඇත්තේ, ඉදිරියේ දී මුළු රටම දරුණු ජල හිඟයකට මුහුණ දෙනු ඇතැයි කියාය.

කේප් ටවුන් නගරසභා බලධාරීන් නිවේදනය කර ඇත්තේ නගර වැසියන් වෙනුවෙන් ජලය ලබා දිය හැක්කේ අප්‍රේල් 22 වැනිදා තෙක් පමණක් බවය. මෙම වසරේ මැයි මාසය වෙද්දී, කේප් ටවුන් නගරය මුළුමනින්ම ජලය නොමැති ස්ථානයක් බවට පත් වනු ඇති බව බලධාරීන් අනතුරු අඟවා ඇත. ජලය සියල්ල සිඳී යන ඒ දිනය ‘ඬේ සීරෝ’ (අවසන් දිනය) යනුවෙන් ද බලධාරීහු නම් කරනු ලැබ ඇත.

2013 සහ 2014 වසරවල කේප්ටවුන් නගරයට යහමින් වැසි ලැබුණු බව පැවැසෙයි. නගර වැසියන් මේ අයුරින් උග්‍ර ජල හිඟයකට මුහුණ දුන්නේ 2015 වසරේ එරටට බලපෑ දරුණු නියගය සමඟය. එම නියගය වසර හතරක් තිස්සේ නොකඩවා පැවැතිණි. නගර වැසියන්ගේ ජල අවශ්‍යතා සපුරාලීම සිදුවන්නේ ප්‍රධාන වේල්ල තුනකිනි. ඒවා මේ වනවිට සම්පූර්ණයෙන්ම පාහේ සිඳිගොස් අවසන්ය.

කේප් ටවුන් මේ අයුරින් දැඩි නියඟයකට හසුවී ජල හිඟයකට මුහුණ දුන්නේ, ‘එල් නීනෝ’ නමැති විපරිත කාලගුණ පෙරැළියේ ප්‍රතිඵලයක් ලෙසින් යැයි කාලගුණ විද්‍යාඥයෝ පැහැදිලි කරති. ‘එල් නීනෝ’ විපරිත කාලගුණ පෙරැළි නිර්මාණය වන්නේ, මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ගෝලීය උණුසුම ඉහළ යෑම නිසාය.

එල් නීනෝ විපරිත කාළගුණ තත්ත්වයක් නිර්මාණය වන්නේ සමකය ආශ්‍රිත දියවැල්වල රටාව වෙනස් වීමෙනි. මෙහිදී ඇතිවන මුහුදු සුළං මගින් සාගරය මතුපිට ඇති උෂ්ණත්වය අඩු නොකරන අතර මුහුදු ජලය උණුසුම් වෙයි. එහි ප්‍රථිපලයක් ලෙස පොළව මතුපිට උෂ්ණත්වය ද ඉහළ යෑම සිදුවෙයි. ‘එල් නිනෝ’ ස්පාඤ්ඤ වදනකි. එහි අර්ථය ‘දේව දරුවා’ යන්නය. මෙයට හේතුව ශාන්තිකර කලාපයේ, බොහෝ අවස්ථාවලදී උණුසුම් තත්ත්වයක් නිර්මාණය වන්නේ නත්තල් සමයට සමගාමීව නිසාය.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS