කිම් ජොන් උන්ගේ වියට්නාම සංචාරය අවසන්



සිය වියට්නාම සංචාරය අවසන් කිරීමෙන් පසු, උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ නියෝජිත පිරිස ඔවුන්ගේ විශේෂ දුම්රියෙන් යළි උතුරු කොරියාව බලා ගමන් ආරම්භ කළහ.

කිම් ජොන් උන් වියට්නාමය බලා පැමිණියේ පසුගිය 26 වැනිදාය. ඒ, 27 වැනිදා සහ 28 වැනිදා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සමඟ පැවැති සමුළුවට සහභාගීවීමටය.

වාද විවාද මැද 28 වැනිදා කලින්ම සමුළුව අවසන් විය. ඒ, උතුරු කොරියාවේ ඉල්ලීම ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කළ නිසාය.

උතුරු කොරියාව ඔවුන්ගේ න්‍යෂ්ටික අවිහරණ කටයුතු ආරම්භ කර ඇත. ඒ ගැන සලකා තම රටට පනවා ඇති සම්බාධක ඉවත් කරන්නැයි කොරියානු නියෝජිත පිරිස ට්‍රම්ප් ප්‍රමුඛ ඇමෙරිකන් නියෝජිත පිරිසෙන් ඉල්ලා සිටියේය.

ඇමෙරිකාව සෑහීමකට පත්වන අයුරින් න්‍යෂ්ටික අවිහරණයක් සිදු නොවන බව පෙන්වා ජනපති ට්‍රම්ප් පෙන්වා දුන් නිසා, සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වූ අතර, ජනපති ට්‍රම්ප් පසුගිය 28 වැනිදාම යළි ඇමෙරිකාව බලා ගියේය.

නායක කිම් ජොන් උන් පමණක් නොව, වියට්නාමයට පැමිණි පළමු අවස්ථාව මෙයයි. එපමණක් නොව, උතුරු කොරියා නායකයකු 1964 වසරෙන් පසු, වියට්නාමයට පැමිණි පළමු අවස්ථාව මෙයයි.

ඊයේ (1) නායක කිම් ජොන් උන්, වියට්නාම් ජනාධිපති සහ අගමැති හමුවී සාකච්ඡා පැවැත්වීය. වියට්නාමය ඇමෙරිකාව සමඟත් උතුරු කොරියාව සමඟත් යහපත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වන රටකි. වියට්නාම විප්ලවීය නායක හෝ චිං මින්ගේ ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීය.

නායක කිම් ජොන් උන් අද (2) වියට්නාම් වැසියන්ට ‘ආයුබෝවන්’ කියමින්, නියෝජිත පිරිස ද පිරිවරා ගනිමින්, විශේෂ දුම්රියට ගොඩවුණු අතර, දුම්රිය චීනය හරහා යළි උතුරු කොරියාවට ළඟා වීමට දින 2 1/2 ක් ගත වනු ඇත.

උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හමුවී සාකච්ඡා කළ අවස්ථාවේදී, ඔවුහු දෙදෙනා මාධ්‍යවේදීන් හමුවේ පෙනී සිටියහ. එහිදී, පළමු වරට මාධ්‍යවේදියකු නැගූ පැනයකට කිම් ජොන් උන් පිළිතුරු දීම ද වැදගත් සුවිශේෂී සිදුවීමකි. ‘උතුරු කොරියාව සැබැවින්ම න්‍යෂ්ටික අවිහරණයක් කරනවා’දැයි මාධ්‍යවේදියා විමසූ විට, උතුරු කොරියා නායක කිම් ජොන් උන් කියා සිටියේ, ‘ඔව්, එහෙම කරන නිසයි මම මේ සමුළුවට ආවේ‘ යනුවෙනි. උතුරු කොරියා නායකයාට දිගටම ප්‍රශ්න එල්ල වෙද්දී, එම ප්‍රශ්නවලින් අපහසුතාවට පත් වීම වැළැක්වූයේ ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්ය.

පැවැත්වුණු සාකච්ඡා අසාර්ථක වී, එකඟත්වයකින් තොරව අවසන් වුණත්, ඉදිරියේ දී ඇමෙරිකා සහ උතුරු කොරියා නියෝජිතයන් අතර සාකච්ඡා පැවැත්වෙනු ඇති බවත්, දෙරටේ හොඳහිත තවමත් ශක්තිමත්ව පවතින බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පමණක් නොව, එරට රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ ද අවධාරණය කර තිබේ.

හැනොයිහිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS