ක්‍රීඩාංගනයක බිත්තියක් කඩා වැටිලා



සෙනගාල් රාජ්‍යයේ පාපන්දු ක්‍රීඩාංගනයක හටගත් තෙරපීමකින් 9 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 51 කි.

තෙරපීම සිදුවූයේ සෙනගාලයේ ඩකාර් අගනුවර ඩෙම්බා දියොප් ක්‍රීඩාංගනයේ එක් බිත්තියක් හිටිහැටියේ කඩා වැටීමත් සමඟය. මියගිය නව දෙනාගෙන් පස් දෙනකු බිත්තියට යටවී සිටියේ යැයි ද වාර්තා වේ.

එම අවස්ථාවේදී ජනප්‍රිය පා පන්දු කණ්ඩායම් දෙකක් අතරේ අවසන් වටයේ පා පන්දු තරගයක් පැවැත්වෙමින් තිබුණි.
කඩා වැටුණු බිත්තියට නරඹන්නන් 20 කට ආසන්න පිරිසක් යටවුණු බව ද පැවැසෙයි. තුවාල ලැබූන්ගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල යැයි රෝහල් ආරංචි මාර්ග කියයි.

බිත්තිය කඩා වැටුණු අවස්ථාවේදී බියටත් කලබලයටත් පත්වුණු පිරිස් ක්‍රීඩාංගනයෙන් පිටවීමට උත්සාහ කළ අවස්ථාවේදී තෙරපීම සිදුවිය. තුවාල ලැබූවන් අතර කාන්තාවන් සහ කුඩා දරුවන් බොහෝ දෙනකු සිටින බව ද වාර්තා වේ.

(රොයිටර්)


RECOMMEND POSTS