කලාපීය රටවල් හවුල් කර ගන්නවා



ඇමෙරිකාව සමඟ පැවැත්වූ සාම කතා අසාර්ථක වීමත් සමඟ තලේබාන් සංවිධානයේ විශේෂ සාම නියෝජිත කණ්ඩායම රුසියාවේ මොස්කව් අගනුවරට පැමිණි බවත්, ඔවුන් රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ විශේෂ නියෝජිතයන් හමුවී සාකච්ඡා කළ බවත් වාර්තා වේ.

වසර 18 ක් තිස්සේ ඔඩුදුවන ඇෆ්ගන් අර්බුදයට විසඳුම් සෙවීම තලේබාන් සංවිධානයේ පමණක් නොව, ඇෆ්ගන් රජයේ ද අරමුණ වී ඇත. ඇමෙරිකා සාම කතා අවසන් වූ බැවින් ඒ සම්බන්ධයෙන් රුසියාව මැදහත්කරුවකු කරගැනීමට තලේබාන් සංවිධානයට අවශ්‍ය වී තිබේ.

තලේබාන් නියෝජිතයන් සහ ඇෆ්ගන් රජයේ නියෝජිතයන් අතර සාමකතා සඳහා රුසියාව ද මීට පෙර දායක වී ඇත. ඇෆ්ගනිස්තානය වෙනුවෙන් රුසියානු ජනාධිපති පුටින් විශේෂ නියෝජිතයකු ද ඒ සඳහා පත් කර තිබේ. සමීර් කබුලෝව් එම සාම නියෝජිතයාය. තලේබාන් සංවිධානය සාම කතා පැවැත්වීම සිදු කරන්නේ දෝහා කටාර් හි පිහිටි තලේබාන් සාම කාර්යාලය හරහාය.

ඇෆ්ගන් අර්බුදය අවසන් කිරීමට රුසියාවේ, ඉරානයේ, චීනයේ සහ මධ්‍යම ආසියානු රටවල සහාය ලබා ගැනීමට තමන් අපේක්ෂා කරන බව තලේබාන් සංවිාධානය පවසා ඇත. ඇෆ්ගන් රජය සහ තමන් අතර එකඟතාවක් ඇති කර ගැනීමට නම් කලාපීය රටවල සහාය අවශ්‍ය බව තලේබාන් සංවිධානයේ අදහස වී තිබේ.

තලේබාන් සංවිධානය සමඟ සාම කතා අවසන් බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් නිවේදනය කළේ මීට සතියකට පෙරය. ඒ, සාම කතා අවසන් අදියරේ පවතිද්දී, තලේබාන් සංවිධානයේ කැරැලිකාර ත්‍රස්ත කල්ලි කාබුල් අගනුවර බෝම්බ පිපිරවීම නිසාය. ඒ වනවිට තලේබාන් නියෝජිතයන් සහ ඇෆ්ගන් රජයේ නියෝජියන් ඇමෙරිකාවේ කෑම්ප් ඬේවිඞ් හමුදා කඳවුරට ගෙන්වා ගනිමින්, ඔවුන් අතරේ එකඟතාවක් ඇති කර ගැනීමට ඉඩ සලසා දීමට ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් තීරණය කර තිබුණි.

(අල් ජසීරා)


RECOMMEND POSTS