කර්ණාටක ප්‍රාන්තයේ දේශපාලන අර්බුදයක්



ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ දේශපාලන අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, එය මේ වනවිට උත්සන්න වී, ශ්‍රේෂ්ඨාධිකරණය තෙක් දුරදිග ගොස් ඇතැයි ඉන්දීය පුවත් සේවා පෙන්වා දෙයි.

කර්ණාටක ප්‍රාන්තයේ බලයේ සිටින්නේ ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂය සහ ජනතා දාල් පක්ෂය එක්ව පිහිටුවාගත් සන්ධාන රජයයි.

කොංග්‍රස් ජනතා දාල් සන්ධානයේ මන්ත්‍රීවරුන් පස් දෙනෙකු ඇතුළු තවත් මන්ත්‍රීවරුන් 16 දෙනෙක් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. මන්ත්‍රීවරුන් ඔවුන්ගේ ඉල්ලා අස්වීම ප්‍රාන්ත සභාවේ කතා නායකවරයාට ඉදිරිපත් කර ඇත.
කර්ණාටක ප්‍රාන්ත සභා කතා නායකවරයා එම ඉල්ලා අස්වීම පිළිගැනීම ප්‍රතික්ෂේප කර ඇති හෙයින්, මන්ත්‍රීවරුන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යෑමට තීරණය කර තිබේ.

කර්ණාටක ප්‍රාන්තයේ මහ ඇමැතිවරයා වන්නේ එච්.ඩී. කුමාරස්වාමිය. මන්ත්‍රීවරුන් ඉල්ලා අස්වුවහොත්, බහුතර බලය ඔහුට අහිමිවෙයි. ඉල්ලා අස්වන මන්ත්‍රීවරුන්ගේ අරමුණ වී ඇත්තේ භාරතීය ජනතා පක්ෂය සමඟ එක් වීමය. මහ ඇමැති කුමාරස්වාමි පවසා ඇත්තේ කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රාදේශීය පක්ෂ දුර්වල කිරීමට අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂය කුමන්ත්‍රණය කරන බවටය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS