කර්ණාටක අර්බුදය අවසන්



කර්ණාටක ප්‍රාන්තයේ පැවැති දේශපාලන අර්බුදය අවසන් කරමින්, කොංග්‍රස් සහ ජනතා දාල් පක්ෂ එක් වී පිහිට වූ නව හවුල් රජයේ මහ ඇමැතිවරයා සහ නියෝජ්‍ය මහ ඇමැතිවරයා ලෙස එච්.ඩී. කුමාරස්වාමි සහ ජි පරමේෂ්වර දිවුරුම් දුන්හ.

එච්.ඩී. කුමාරස්වාමි ජනතා දාල් පක්ෂය නියෝජනය කරන අතර, ජි පරමේෂ්වර නියෝජනය කරන්නේ ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන පක්ෂය වන කොංග්‍රසයයි.

ඉන්දියාවේ දකුණු දිග ප්‍රාන්තයක් වන කර්ණාටක ප්‍රාන්තය ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස සැළකෙන කොංග්‍රස් පක්ෂයේ බළ කොටුවක් ලෙස වසර ගණනාවක් පැවැතිණි. කෙසේ නමුත් පසුගිය දා පැවැති ප්‍රාන්ත සභා මැතිවරණයෙන්,  කොංග්‍රසයට දිනා ගැනීමට හැකි වූයේ ආසන 78 ක් පමණි. එය ඔවුන් ලැබූ ප්‍රබල පරාජයකි. තෙවැනි බලවේගය වන ජනතා දාල් පක්ෂයට ආසන 38 ක් හිමිවිය. කර්ණාටක ප්‍රාන්තයේ ආසන ගණන 222 කි. ඉන්දීය අගමැති නර්න්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ආසන 104 ක් දිනා ගත්තේය.

ලැබූ ජයග්‍රහණයත් සමඟ භාරතීය ජනතා පක්ෂය වහා නව රජයක් පිහිටවූ අතර, බී.එස්. යඩියුරුප්පා  එම පක්ෂය නියෝජනය කරමින්, මහ ඇමැති ධුරයේ දිවුරුම් දුන්නේය.

එම අවස්ථාවේදී, කොංග්‍රස් පක්ෂය සහ ජනතා දාල් පක්ෂය එක් වී තමන් ද රජයක් පිහිටුවන බව පැවැසීය. අර්බුදය ඉන්දීය ශ්‍රෙෂ්ඨාධිකරණය තෙක් දුරදිග ගියේය.

විශ්වාසය පළ කිරීමේ යෝජනාවක්, කර්ණාකට ප්‍රාන්ත සභාවට ගෙන ඒමට ද සූදානමක් පැවැතිණි. විශ්වාසය පළ කිරීමේ, යෝජනාවක් ප්‍රාන්ත සභාවට ගෙන ඒමට මිනිත්තු කිහිපයක් තිබියදී බී.එස්. යඩියුරුප්පා මෙසේ ඉල්ලා අස්විය. ඒ අනුව, දේශපාලන අර්බුදයක් නිර්මාණය වුණු අතර, කොංග්‍රසය සහ ජනතා දාල් පක්ෂය එක් වී නව රජයක් පිහිටුවීය.

(රොයිටර්)


RECOMMEND POSTS